එන්නත්කරණ බලධාරීන් දැවැන්ත වංචාවක….! කොළඹ ජනතාවට වෙන්කළ එන්නත් 70 000ක් අතුරුදන්…! මැති ඇමැතිවරුන්ගෙන් ජනපතිට පැමිණිලි…!

June 27, 2021 at 2:46 pm | by emanisa.lk

කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස එකොළහකට එන්නත්කරණය සඳහා ලබා දුන් එන්නත් හැත්තෑදහසක තොරතුරු නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කාර්ය සාධක බළකායේ දී අනාවරණය වී තිබේ.

පළමු මාත්‍රාව ලබා දීම සඳහා ලබා දී ඇති මෙම එන්නත් පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනට දැනුම් දී ඇත. මෙරටට ගෙන්වා ඇති එන්නත් සහ දැනට සිදු කර ඇති එන්නත්කරණය පිළිබඳව දත්ත පරිගණකගත කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වන විට සිදු කරයි.

දත්ත පරිගණක ගත කිරීමේදී ද මෙම එන්නත් පිළිබඳ තොරතුරු නොලැබුණ බව ද මෙහි දී හෙළි වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇත. කෙසේ වෙතත් මෙම එන්නත් කඩිනමින් ජනතාවට ලබා දිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් නිසි පරිදි එන්නත්කරණයට අදාළ තොරතුරු ලබා නොදෙන බව රැස්වීමට එක්ව සිටි මැති ඇමැතිවරුන්ද පෙන්වා දුන්හ. එය තොරතුරු සැඟවීමක් බව ඔවුහු කියා සිටියහ. ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන ඇමැතිවරු හා මදුර විතානගේ මන්ත්‍රීවරයාද ඊට එක්ව සිටියහ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියා සිටියේ උතුරු – නැගෙනහිර පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් නිවැරැදි තොරතුරු ලබා දුන් බවයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් නිසි පරිදි තොරතුරු ලබා නොදෙන බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මිරිහාන පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස