එන්නත්කරණට කොවිඩ් මරණ අවම කරන බව තහවුරුයි…! ඒ ඒ එන්නත්වලින් ලබා දෙන රැකවරණ ප්‍රතිශතය මෙන්න…!

August 26, 2021 at 1:55 pm | by emanisa.lk

සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින්ගේ කොවිඩ් මරණ අනුපාතය සියයට 0.46ක් තරම් අවම අගයක් ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා සහ අණුක විද්‍යා ඒකකයේ මහාචාර්ය නීලිකා මලවිගේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබාගත් පුද්ගලයින්ගේ මරණ අනුපාතය සියයට 0.15 තරම් අගයක ද ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් පුද්ගලයින් අතර මරණ අනුපාතය සියයට 0.03 ලෙස ද වාර්තා වූ බව මහාචාර්යවරිය සඳහන් කරයි.

කොවිඩ් -19 වෛරසය මර්දනය සඳහා ලබාදෙන එන්නත් මගින් ඇති කරන ප්‍රතිශක්තිකරණය පිළිබඳ බහරේනයේ සිදුකළ පර්යේෂණයක් උපුටා දක්වමින් මහාචාර්ය නීලිකා මලවිගේ මේ බව සඳහන් කර ඇත.

එක් සතියකදී පුද්ගලයින් ලක්ෂයක් අතුරින් 642 දෙනෙකු ආසාදිතයින් බවට පත්වන බවත් ඊට ගොදුරු වන සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින් ලක්ෂයකට 350 දෙනෙකු තරම් අවම අගයක් ගන්නා බව අදාළ පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ.

සයිනොෆාම් එන්නත ලබාගෙන ආසාදිතයින් බවට පත්වන 350 දෙනෙකු අතරින් මිය යෑමේ අවදානම එක් පුද්ගලයෙකු ලෙස අනාවරණ වී ඇති බව ද සඳහන්ය.

කෙසේ වෙතත් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබාගත් පුද්ගලයින් ලක්ෂයක් අතරින් ආසාදිතයින් 136 දෙනෙකු වාර්තා වන බව ද ඔවුන් මිය යාමේ අවදානම 0.02ක් පමණ අවම අගයක් ගන්නා බව ද බහරේනය සිදුකළ එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *