එන්නතටත් මෙල්ල නොවන ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ලංකාවේ..! දෙමටගොඩින් ආසාදිතයින් 5 දෙනෙක් හමු වෙයි…!

June 17, 2021 at 4:46 pm | by emanisa.lk

ඉන්දියාවේ මේ දිනවල වේගයෙන් පැතිර යන බී.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් පස් දෙනකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර‍ පවසයි.

මීට අමතරව බ්‍රිතාන්‍යයේ පැතිර ඇති බී117 ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනයවූ ආසාදිතයන් පිරිසක් තවත් ප්‍රදේශ පහකින් සොයාගත් බවද ඔහු සඳහන් කරයි.

සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සඳහන් කරන අන්දමට ඉන්දියාවේ මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය මෙරට සමාජයෙන් හමුවූ පළමු අවස්ථාව මෙය වෙයි.

ඩෙල්ටා ඉන්දීය කොවිඩ්‍ ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනකු මෙයට පෙර මෙරටින් හමුවූවත් ඔවුන් දෙදෙනාම සොයාගෙන තිබුණේ මෙරට නිරෝධායන මධ්‍යස්ථාන දෙකකිනි.

මෙම ඉන්දීය ප්‍රභේදය මෙරට මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන බී117 ඇල්ෆා බ්‍රිතාන්‍ය වයිරස ප්‍රභේදයට සාපේක්ෂව පැතිරීමේ සීඝ්‍රතාව සියයට 50කින් පමණ ඉහළ අගයක් ගන්නා බවත් ඉන් දරුණු රෝග ඇතිවීමේ හැකියාවද වැඩි බවත් චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.

එසේම එක් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවකින් මෙම ඉන්දීය ප්‍රභේදය පාලනය කළ නොහැකි බවත් ඔහු පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *