එදා අප්පච්චි මළා කියලත් මට ඡන්ද 38000ක් ලැබුණා! මෙදා වෙල්ලස්සේ 80-90%ක් ජනතාව ඉන්නේ මා එක්කයි! වැඩිපුර සල්ලි ලැබෙන පැත්තකට මම හේතු වෙනවා! – විජිත් විජයමුණි

April 2, 2019 at 1:09 pm | by admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් තමන් සමඟ ඕනෑම පක්ෂයකට එකතු වීමට සූදානමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පවසයි.

මොණරාගල පැවති ජනහමුවකින් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

වෙල්ලස්සට වැඩ කරන පෙරමුණකට තමා එක් වන බවත්, එය තවමත් තීරණය කර නොමැති බවත් පැවසූ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයා තමා යන තැනකට යෑමට සුදානමින් සිටින බවත්, පොහොට්ටුවේ අයත් දැන් දැන් එකතු වෙමින් පවතින බවත් පැවසීය.

එජාපයට තමා මෙතෙක් ගොස් නැති බව ද සල්ලි වැඩිපුර ලබාගත හැකි පෙරමුණකට තමා හේත්තු වන බව ද ඔහු කියයි. තම මහ ඇමති ලෙස වැව් 21ක් තැනූ බවත් රාජපක්ෂලා කිසිම වැවක් තනා නැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අප්පච්චි මළා යැයි පවසා තමන් ඡන්ද 38000 ක් ලබා ගත් බවත්, එයින් 15,000 ක් පමණ තනි මනාප වන බවත් පැවසු මන්ත්‍රීවරයා, තමා සමඟ සියයට 80-90 ක ප්‍රමාණයක් එක්ව සිටින බව ද සඳහන් කළේය.

සිය දේශපාලන ඉතිහාසයේ ස්වර්ණමය අවධිය මෙය බවත්, තමා ගත් තීරණවල නිවැරදි භාවය අද වන විට ජනතාව විසින් තහවුරු කරමින් පවතින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

කෙසේ වුවද පසුගිය මැතිවරණයේ දී ඔහු පරාජයට පත් වූ අතර අනතුරුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ඇමති ධුරයක් ද ලබා දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිරිසේන විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *