එජාප වෘත්තීය සමිති වැඩවර්ජනය කරන්නේ පොසොන් උළෙල කඩාකප්පල් කරන්නයි! – අර්ජුන

June 14, 2019 at 10:37 am | by emanisa.lk

පොසොන් සමයේ වැඩ වර්ජනවලට ගොස් මහජනතාව අපහසුතාවයට පත්කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව කී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිවාඩු අවලංගු කරන බවත්, එය නොතකා සේවයට වාර්තා නොකරන සියලු දෙනාම සේවය අතහැර ගියා සේ සලකන්නට සිදුවන බවත් පැවසීය.

දිනෙන් දින දියුණුවට පත්වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දේශපාලනීකරණය කර විනාශ නොකරන්නැයිද, අමාත්‍යවරුන් දෙදෙනාට නොදන්වා වැඩ වර්ජනයකට යෑමෙන් වෘත්තීය සමිතිය බරපතල වරදක් කර ඇතැයිද ඇමතිවරයා ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිති නායකයන් හමුවේ අද(13) පැවැසීය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සුළු සේවක කණ්ඩායමක් ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ බව කීය.

සේවකයන්ට සහන සැලසීම ගැන තමාගේ කිසිදු විරෝධතාවක් නැතැයිද නමුත් වත්මන් ආණ්ඩුව යටතේ පෙර ආණ්ඩුවල වැරදීම් තවදුරටත් වෙනවා නම් ඊට ඉඩදිය නොහැකි යැයිද අමාත්‍යවරයා පැවැසීය.

බස් රථ නියමිත පරිදි ධාවනය කිරීම ප්‍රාදේශීය කළමනාකරුවන්ට සහ ඩිපෝ කළමනාකරුවන්ට පැවරෙන වගකීමක් බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ වගකීම ඉටු නොකරන්නේ නම් ඒ පිළිබඳවත් අවධානය යොමු කරන බවද කීය.

මෙම සාකච්ඡාව සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුද, ජාතික සේවක සංගමයේ නියෝජිතවරුද සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *