එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණොත් තනතුරින් ඉවත් වෙනවා! නැත්නම් අපක්ෂපාත කතානායක ලෙස දිගටම වැඩ කරනවා! – කරූ

August 29, 2019 at 10:30 am | by emanisa.lk

එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්ව තමා ජනාධිපති ධුර අපේක්‍ෂකයා ලෙස තෝරාගත හොත් පමණක් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වන බව කථානායක කරු ජයසූරිය එ.ජා.ප. මන්ත්‍රීවරුන් පිරිසකට පවසා ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්‍ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්‍ෂයේ ක්‍රමවේදය අනුව යමින් තීරණයක් ගෙන තමාගේ නම ප්‍රකාශයට පත් කළ හොත්, ඊට පසු දින සිට මැතිවරණ කටයුතුවල යෙදිය හැකි යැයිද, මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වීමට තමා සූදානමින් සිටින බවද කථානායකවරයා එහිදී දැනුම්දී තිබේ.

පක්‍ෂය තමාගේ නාමයෝජනා නොකළ හොත් අටවැනි පාර්ලිමේන්තුවේ කාලසීමාව අවසන් වනතුරු අපක්‍ෂපාතීව කථානායක ධුරයේ රැඳීසිටින බව ඔහු පවසා ඇතැයි ඔහුට හිතවත් ආරංචිමාර්ග පවසයි.

මේ අතර කථානායක කරු ජයසූරියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් දිනපතා ඔහු හමු වී ඉල්ලීම් ඉදිරිපත් කරන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුර අපේක්‍ෂකයා ලෙස ගෙන ආ යුතු බවට මීට පෙර අදහස් පළ කළ මැති ඇමතිවරුන්ද කරු ජයසූරිය හමු වී මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවත්, මෙම ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් බොහෝ විට සවස් කාලයේදී කථානායකවරයාගේ නිවසට පැමි‍ණෙන බවත් තොරතුරු වාර්තා වේ.

මීට අමතරව සිවිල් සංවිධානවල නියෝජිතයන්ද කරු ජයසූරිය හමු වී සාකච්ඡා කර තිබෙන බවත්, අවශ්‍ය ඕනෑම සහායක් ලබාදෙන බවට ඔවුන් ප්‍රතිඥා ලබාදී තිබෙන බවත් වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස