“එක රටක් – එක නීතියක්” වාර්තාව ජනපති අතට…!

June 29, 2022 at 1:41 pm | by emanisa.lk

“එක රටක් – එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව බලකායේ සභාපති රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් අද (29) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදෙනු ලැබිණි.

ශ්‍රී ලංකාව තුළ එක රටක් – එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට 2021 ඔක්තෝබර් 26 සහ 2021 නොවැම්බර් 06 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදන මගින් ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටවනු ලැබීය.

මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සුමේධ වීරවර්ධන, වෛද්‍ය එන්.ජී. සුජීව පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතිඥ ඩබ්.පී.ජේ.එම්.ආර්. සංජය බණ්ඩාර මාරඹේ, ආර්.ඒ. එරන්ද කුමාර නවරත්න, පානි වෑවල, මවුලවි එම්. ඒ.එස්. මොහොමඩ් (බාරි), යෝගේශ්වරී පත්ගුනරාජා සහ අයියම්පිල්ලෙයි දයානන්දරාජා කාර්ය සාධක බලකායේ සෙසු සාමාජිකයෝ වූහ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක බලකායේ ලේකම් ලෙස කටයුතු කළාය.

වෘත්තිකයන්, රාජ්‍ය නොවන සංවිධාන, ආගමික කණ්ඩායම්, විවිධ ජන කොටස්, විශ්වවිද්‍යාල ප්‍රජාව, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි 1,200කට අධික පිරිසකගේ සාක්ෂි සටහන් කරගැනීමෙන් අනතුරුව නිර්දේශ 43ක් සහිත පරිච්ඡේද 8කින් සහ ඇමුණුම් කාණ්ඩ 2කින් සමන්විත වාර්තාව සකස් වී තිබේ.

මෙම වාර්තාව කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *