එක්ස්ප්‍රස් පර්ල් මාර්තු අප්‍රේල්වලත් කොළඹ ආවා….! නැවේ තෙල් ගින්නෙන් දැවී ගිය බව විශේෂඥ මතයයි….! – හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා

June 4, 2021 at 8:27 am | by emanisa.lk

ගිනිගත් එස්ප‍්‍රස් පර්ල් භාණ්ඩ ප්‍රවාහන නොෟකාව පසුගිය මාර්තු සහ අප්‍රෙල් මාසවල දී ද කොළඹ වරායට පැමිණ ඇති බව හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා අනාවරණය කරයි.

ඩුබායි, කටාර් සහ ඉන්දියාව යන රටවල වරාය තුනකට ගොස් බහාලුම් රැගෙන එමින් තිබූ මෙම නැව කොළඹ වරායට පැමිණීමට තිබුණේ මැයි 18 වැනි දා බවත් පැවැති කාලගුණ තත්ත්වය නිසා එය පැමිණීමේ ප‍්‍රමාදයක් සිදු වූ බවත් ද ඔහු සඳහන් කළේය.

“19 වැනි දා රාත‍්‍රියේ කොළඹ වරාය ආසන්නයට පැමිණි නැව නැංගූරම් දමා සිටියා. 20 වැනිදා උදේ නැවේ රසායනික ද්‍රව්‍ය සහිත බහාලුමක කාන්දුවක් ඇති බව අපට දැනුම් දුන්නා. එය පරීක්‍ෂා කිරීමට කණ්ඩායමක් යෑමට සූදානම් වනවිට එම කාන්දුව නතරවූ බව පැවසුවා.

නැවත දහවල් දැනුම් දුන්නා කාන්දුව නැවතත් වන බවට. එවිට අපේ කණ්ඩායමක් ගොස් එය සකස් කළා. 20 වැනිදා රාත‍්‍රි 11.00ට නැවේ පාලක මැදිරිය අපට දැනුම් දුන්නා ගින්නක් ඇති බවට. ඒ මොහොතේ සිට අප ගින්න නිවන්න උත්සාහ ගත්තා.

23 වැනි දා වන විට ගින්න ටිකක් පාලනය වුවත් 24 වැනි දා පැවැති අයහපත් කාලගුණ තත්ත්වය නිසා එම කටයුතු අඛණ්ඩව සිදු කළ නොහැකි වුණා. මෙම අයහපත් කාලගුණික තත්ත්වය නිසා මුහුදු රළ අඩි 04ක් පමණ උසට ඇතිවූවා. එනිසා සහන යාත‍්‍රාවලට නැව අසලට යන්න බැරි වුණා. නැවේ කාර්ය මණ්ඩලය බේරාගත්තේත් අසීරුවෙන්.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා පසුගිය 24 වැනි දා සිට 26 වැනි දා දක්වා වසර 34කට පසු වරායේ වැඩ නතර වුණා. පැවැති අධික සුළං තත්ත්වය නිසා ග‍්‍රෑන්ට් දොඹකර පවා නතර කරන්න සිද්ධ වුණා.

24 වැනි දා සවස් වන විට නැවේ එන්ජින් කාමරයට පවා ගින්න පැතිර තිබුණා. ඒ අනුව විශේෂඥයන් දැනට විශ්වාස කරන්නේ නැවේ තිබූ ඉන්ධන දැවී යන්නට ඇතැයි කියලා. මේ වන විට අප නැවේ කළුපෙට්ටිය සෙවීමට උත්සාහ කරනවා.”

ඊයේ (03) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මෙසේ කීවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස