එක්ස්ප්‍රස් පර්ල් ගින්න ගැන මවන්නේ හුඹස් බියක්….! එමගින් කිසිදු දැවැන්ත පරිසර විනාශයක් නෑ…! – විශ්වවිද්‍යාල රසායන විද්‍යා මහාචාර්යවරයෙකු හෙළි කරයි….

June 2, 2021 at 8:35 am | by emanisa.lk

Express pearl නැවේ ගිනි ගැනීම නිසා ශ්‍රී ලංකාව සිදුවන පරිසර හානිය ගැන විවිධ විශේෂඥයින් විවිධ දේ මාධ්යයෙන් අසන්නට ලැබුණි. මේ කියන හැම දෙනාගෙම අදහස්වල හරය ගත්තොත් ඉන් කියවෙන්නේ මෙය මහා දැවැන්ත පරිසර විනාශයක් බවයි. මුහුදු ජලයට, මුහුදු ජීවීන්ට වෙරළට, වායුගෝලයට දැවැන්ත පරිසර විනාශයක් සිදුවී ඇති අතර එය වසර විස්සක් හෝ ඊටත් වැඩි කාලයක් පවතින බවයි.

මගේ අදහස නම් මෙය එතරම් විශාල නොවන කුඩා ප්‍රමාණයේ පරිසර විනාසයක් බවයි. පලමු වන කාරණය බොහෝ දෙනා කියන පරිදි මෙම නැවේ තිබුණු තිබුණු නයිට්‍රික් අම්ල ටොන් 25 නිසා මුහුදේ ආම්ලිකතාවය ඉහළ ගොස් මුහුදු ජීවීන්ට කොරල් පරවලට දැඩි හානියක් සිදුවන බවයි. එසේම ම නයිට්‍රික් අම්ලය තාපයට හසුවීම නිසා nitrogen dioxide වාතයට එක්වීම නිසා විශාල අම්ල වැස්සක් ඇතිවන බවයි. නැවේ තිබුණු නයිට්‍රික් අම්ල ප්‍රමාණයෙන් ඔය දෙකම ඇතිවීමට ඇති ඉඩකඩ ඉතාම කුඩාය. මෙම සම්පූර්ණ නයිට්‍රික් අම්ල ප්‍රමාණය ම මුහුදට එක් වුවත් මුහුදේ ඇති ස්වාරක්ෂක ක්‍රියාවලිය සහ තනුක වීම නිසා නයිට්‍රික් අම්ල ටොන් 25කින් මෙම ප්‍රදේශයෙහි මුහුදු ජලයේ ආම්ලික තාවයට බලපෑමක් කළ නොහැක.

ක්ෂණිකව නැව අවට ආම්ලික තාවය ඉහල ගියත් පැය කිහිපයක් තුළ එය සමනයට පත් වේ එසේම සම්පූර්ණ නයිට්‍රික් අම්ල ප්‍රමාණයම nitrogen dioxide ලෙස හෝ කෙලින්ම අම්ල ලෙස වාතයට එක් වුවත් එම දිනවල පැවති අධික වර්ෂා කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් තනුක කරනයට ලක් වීම සහ ජල යෙන් සෝදා යාම නිසා සැලකිය යුතු අම්ල වැස්සක් ඉදිරියේදී ඇතිවීමට හැකියාවක් නැත. එසේම සමහර අය කියන පරිදි කෘෂිකර්මාන්තයට වනාන්තර විනාශයට සහ ප්‍රභාසංස්ලේෂණයට බලපෑමක් කිරීමට තරම් මෙම තනි සිද්ධියෙන් ඇතිවන අම්ල වැස්සට කිසිදු හැකියාවක් නැත. එසේ වීමට නම් ප්‍රබල අම්ල වැසි වසර ගණනාවක් එක දිගට ම ලැබිය යුතුය.

එසේම මෙම නැවේ තිබුණා අනෙකුත් රසායන ද්‍රව්‍ය වන මෙතනෝල් , sodium ethoxide, කෝස්ටික් සෝඩා වැනි රසායන ද්‍රව්‍ය වලින්ද සැලකිය යුතු බලපෑමක් සිදුකළ නොහැක. මෙතනෝල් මුහුදු ජලයේ දිය වුවද එය වාෂ්පශීලී නිසා මුහුදු රළ ආදී හේතු නිසා බොහෝ ප්‍රමාණයක් වාතයට එක්වෙයි. ඉතුරු ප්‍රමාණය මුහුදු ජලයේ තනුක වීම නිසා ඉන් සිදුවන බලපෑම නොසලකා හැරිය හැක. sodium ethoxide ජලය සමග වේගයෙන් ප්‍රතික්‍රියා කර එතනෝල් සහ sodium hydroxide නිපදවන අතර එතනෝල් වලින් කිසිදු හානියක් නැති අතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල භාෂ්මික ගතිය මුහුදේ ස්වාරක්ෂක ක්‍රියාවලිය සහ තනුක වීම නිසා නයිට්‍රික් අම්ලය මෙන් කෙටි කලකින් නැතිවී යයි. කෝස්ටික් සෝඩා වලට සිදුවන්නේද එයමය. එසේම ඊළඟට ඇයි විය හැකියි කියන පාරිසරික ප්‍රශ්නය වන්නේ නැවෙන් තෙල් මුහුදු ජලයට එකතු වීමයි මෙම නෞකාව තෙල් නැවක් නොවන අතර පවතින්නේ නැවේ ධාවනයට අවශ්‍ය තෙල් පමණි.

එසේම සැලකිය යුතු ප්‍රමාණයේ තෙල් පැල්ලමක් මේ නැව අවට දිස් නොවීය. අනෙක් අතට මෙම සියලුම තෙල් ජලයට එක් වුවද මුහුදු ජලය ඇති බැක්ටීරියා මගින් මාසයක් දෙකක් අතර කාලයක් තුළ මේ සියලුම තෙල් වියෝජනයට ලක් කරයි. ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාව අවට මුහුදේ අධික බැක්ටීරියා ගහණයක් පවතින බැවින් මෙම වියෝජනය ඉතාම වේගයෙන් සිදු වේ. එම වේගය තවත් වැඩි වන්නේ මෙම තෙල් පිරිපහදු කළ ඩීසල් වන බැවිනි. බොරතෙල් වලට වඩා ඉතා වේගෙන් බැක්ටීරියා වියෝජනයට පිරිපහදු කළ තෙල් ලක් වෙයි. ඊළඟ ප්‍රශ්නය ලෙස පවතින්නේ මුහුදට එක් වූ ප්ලාස්ටික් ප්‍රමාණයයි. මෙම නැවෙන් මුහුදට එකතු වූ ප්ලාස්ටික් භාණ්ඩ නිපදවීම සඳහා යොදා ගන්නා අමු (raw) ප්ලාස්ටික් වෙයි. මේවා ප්ලාස්ටික් අතරින් ඉතාම පිරිසිදු ප්ලාස්ටික් වෙයි. එයට අමතරව මෙම ප්ලාස්ටික් වල කිසිදු නත් රසායන ද්‍රව්‍යයක් අඩංගු නැත.

මේ නිසා මෙම ප්ලාස්ටික් වලින් කිසිවෙකුට කිසිදු අන්තරාවක් නැත. මීට වඩා ඉතා අධික ප්‍රමාණයක් අපිරිසිදු ( විවිධ රසායන ද්‍රව්‍ය එක්කර භාණ්ඩ සාදා භාවිතයෙන් ඉවත් කල ප්ලාස්ටික්) ප්ලාස්ටික් ද්‍රව්‍ය අපි කෙතරම් මුහුදට එකතු කරනවද. ඒවායින් නිකුත්වන අන්තරායකාරී රසායන ද්‍රව්‍ය(polymer additives) කොතරම් වසරකට මුහුදු ජලයට එක්වනවාද. එකම ප්‍රශ්නය වන්නේ මෙම ප්ලාස්ටික් පරිසරයේ දී ජීර්ණයට ලක් නොවීමයි. එය සත්‍යයකි පරිසරයේ දශක ගණනාවක් මෙම plastic වලට පැවතිය හැක. නමුත් දූෂිත plastic වලට වඩා පිරිසිදු ප්ලාස්ටික් පරිසරය පැවතීම නරක දෙකෙන් අඩු නරක තත්ත්වයකි.

එකම ප්‍රශ්නය වෙරළ තීරයට ගසා ගෙන එන මෙම ප්ලාස්ටික් වෙරලේ තැන්පත්වීමයි. එය වෙරළ තීරයට අවලස්සනක් එක් කරනවා හැරෙන්නට වෙනත් ප්‍රශ්නයක් නැත. තවත් එක් තර්කයක් වන්නේ මෙම ප්ලාස්ටික් මසුන් විසින් ආහාරයට ගන්නා බවයි. මම දන්නා පරිදි මසුන් තමන්ට ආහාර නොවන කිසි දෙයක් ආහාරයට නොගනී. ආහාරයට ගත්තද හානියක් නැත. එසේම මෙම ප්ලාස්ටික් වලට මුහුදු ජලය ඇති දූෂිත ද්‍රව්‍ය අවශෝෂණය කර ගත හැකි බැවින් වෙරලට පැමිණෙන මෙම plastic බහුතික ව ඉවත් කිරීම මගින් වෙරළ ප්‍රදේශයේ මුහුදු ජලය පිරිසුදු කරන ක්‍රියාවලියකට ලක්වෙන බව කිව හැක.

මුහුදු ජීවීන්ට දැඩි හානියක් ඇති වූවානම් මුහුදු ජීවීන් අධික වශයෙන් මියගොස් වෙරළට ගසා ගෙන ඒමට තිබුණි. ඉතා සුළු මුහුදු ජීවීන් ප්‍රමාණයක් මියගොස් වෙරළට ගසාගෙන විත් ඇති ආකාරය මාධ්‍ය තුළින් පෙන්වන ලදී. මේ අවට ධීවරයන් පවසන පරිදි මෙය මෙම වාරකන් කාලයේ සාමාන්‍ය තත්ත්වයකි. මගේ අදහසට අනුව නම් මෙම නැවේ ගිනිගැනීම නිසා අපගේ වෙරළ තීරයට ඇති වූ බහුතික හානිය සහ මේ අවට මුහුදු ජීවීන්ට ඇති වූ කෙටිකාලීන බලපෑම හැරෙන්නට වෙනත් දිගු කාලීන බලපෑමක් ඇතැයි සිතිය නොහැක.

මහාචාර්ය එස්.ඩී.එම්. චින්තක
රසායන විද්‍යාව මහාචාර්ය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස