එංගලන්ත ක්‍රීඩකයින් සිටින හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා…!

January 15, 2021 at 1:05 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ලැගුම් ගෙන සිටින ගාල්ලේ තරු පහේ සංචාරක හෝටලයක මුළුතැන්ගෙයි අරක්කැමියන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බව අද (15) තහවුරු වූ බව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යබෙර්ට්‍රම් ද සිල්වා පවසයි.

මෙම දෙදෙනා අවශ්‍ය වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ද ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කීය.

ආසාදිත සේවකයින් දෙදෙනා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වන අතර මොවුන් රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඔවුන්ගේ ජෛව සාම්පල යුද හමුදා වෛද්‍ය කණ්ඩායමක් විසින් ලබාගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔවුන් දෙදෙනා ආසාදිත බව හඳුනාගෙන තිබේ.

හෝටල් පරිපාලනය සඳහන් කරන්නේ මෙලෙස වෛරසය ආසාදනය වී ඇති සේවකයන් දෙදෙනා කිසිම අවස්ථාවක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා සෘජුව සම්බන්ධ නොවූ බවයි.

එංගලන්ත ක්‍රීඩකයන්ගේ අවශ්‍යතා හේතුවෙන් ක්‍රීඩා පිටියේ සේවය සඳහා දෛනිකව පිටත්ව යන හෝටල් සේවකයන් 10 දෙනකුට තරග ආරම්භයට පෙර පීසීආර් පරීක්ෂණ සිදුකළ අතර ඔවුන්ට කොරෝනා ආසාදනය වී තිබුණේ නැති බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙරටට පැමිණි එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩක මොයින් අලීට ආසාදනය වී තිබුණේ කොරෝනා වයිරසයේ වඩාත් වේගයෙන් පැතිරෙන බවට හඳුනාගත් එංගලන්ත නව ප්‍රබේධය බව පසුගිය 13 වැනි දා සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර තිබිණි.

කෙසේ වුවද වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පසුව ප්‍රකාශ කළේ එංගලන්ත ක්‍රීඩකයාගෙන් මෙ රට කිසිවකුට නව ප්‍රබේධය වැළඳී නොමැති බවය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස