උසස් පෙළ සමත් සැමට විශ්වවිද්‍යාල වරම්! මේ වසරේ රට පුරා විශ්වවිද්‍යාල 300ක්!

January 8, 2020 at 3:18 pm | by emanisa.lk

රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන ආකාරයට දිවයින පුරා විශ්වවිද්‍යාල විද්‍යායතන 300ක් ආරම්භ කිරීමේ වැඩසටහන මේ වසර අවසන් වීමට ප්‍රථම අරඹන බව ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පී ආයතනයේ අවසන් වසර සමතුන්ට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි.

ඇමැතිවරයා එහිදී සඳහන් කළේ ලොව වෙනත් රටවල විශ්වවිද්‍යාලවලට සුදුසුකම් නොලබන ද්වතීයික අධ්‍යාපනය සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශ්වවිද්‍යාල විද්‍යායතන පැවැතියද මෙරට දරුවන්ට එවැනි අවස්ථාවක් නොමැති බවයි.

‘ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට කලින් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. මේ රටේ උසස් පෙළ සමත් වන සියලුම දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන හෝ ඒ හා සමාන උසස් අධ්‍යාපන අවස්ථාවන් ලබා දෙනවා කියලා. දැන් ඒ වගකීම ඉටු කිරීම උසස් අධ්‍යාපන ඇමැතිවරයා විදිහට මට පැවරිලා තියෙනවා. මම ඒ වගකීම මේ වසර අවසන් වන විට ඉටු කිරීමට කටයුතු කරනවා. උසස් පෙළ සමත් සිසු දරුවන්ට මේ විදියට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමට තමන් විශ්වවිද්‍යාල විද්‍යායතන තුන්සීයක් සෑම ප්‍රාදේශීය ​ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය වෙන ආකාරයට ආරම්භ කරන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ කටයුත්තට සමගාමීව මේ වරලත් ගණකාධිකරණ ශිල්පී ආයතනයක් (AAT) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත විද්‍යායතනයක් බවට මේ වර්ෂය අවසන් වීමට ප්‍රථම පත් කිරීමට පියවර ගන්නවා’

‘අද ඇති හැකි ඉංග්‍රීසි කතා කරන, ඉංග්‍රීසි පුවත්පත් කියවන කිසිම දෙමාපියෙක් තමන්ගෙ දරුවෙක් මේ රටේ අවුරුදු විසි පහ තිහ වෙනකම් උපාධි ලබා ගන්න ගත වෙන අධ්‍යාපන ක්‍රමය ගැන කරදර වෙන්නෙ නැහැ. ඔවුන් තමන්ගෙ දරුවන්ට කියන්නෙ කොහොම හරි ලන්ඩන් ඒලෙවෙල් හරි ඕලෙවෙල් හරි තලාගන්න කියලා. තලා ගන්න කියන්නේ යාන්තමින් හරි සමත් වෙන්න කියලා. ඒ දරුවො අවුරුදු දාහතර පහළොව වෙනකොට ලන්ඩන් ඕලෙවෙල් සමත්. ඊට පස්සේ එංගලන්තෙ, ඇමෙරිකාවෙ, ඔස්ට්‍රේලියාවෙ විශ්වවිද්‍යාලවල හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනවලට සම්බන්ධ වෙලා අවුරුදු තුනකින් උපාධිය ලබා ගන්නවා. ඒ කියන්නේ අවුරුදු විස්සට කලින් උපාධියක් ලබා ගන්නවා. ඊට පස්සේ ඒ රටෙන්ම රැකියාවක් හොයාගෙන විවාහයක් කරගෙන එහෙම පදිංචි වෙනවා. ආපසු මේ රටට එන්නේ නැහැ.

ඒ දරුවො බහුතරයක් දන්නෙත් නැහැ තමන්ගෙ රටේ බහුතරයක් දරුවන්ට තමන්ට ලැබුණු අවස්ථාව ලැබෙන්නෙ නැහැ කියලා. මේක තමයි තිත්ත ඇත්ත. මේ ඇත්ත දේශපාලකයන් ජනතාවට කියන්නෙත් නැහැ. මොකද ඔවුන්ගෙ දරුවොත් පිටරට යවලාමේ ක්‍රමයට උගන්වලා තියෙන නමුත් අපි මේ තිත්ත ඇත්ත ගැන කතා කරනවා. ඒ ගැන කතා කරලා වශ්වයට සම්පතක් වෙන දුවා දරුවන් පිරිසක් බිහිකරනවා.

මෑත අතීතයේදී විභාග සමත් ජීවිත අසමත් පරම්පරාවක් බිහි වුණා. අද ඉන්නෙ ජීවිතය අසමත් දෙමව්පියන්ගෙන් බහුතරයක් උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ සමත් නමුත් රැකියාවක් හෝ ජීවනෝපායක් නැහැ. ඇතැම් උපාධිධාරීන්ටත් එහෙමයි. උගතුන්ට රැකියා නැහැ. එම බරපතළ අසමතුලිතතාව වෙනස් කරන්න තමයි අපි මහින්ද රාජපක්ෂ රජය යටතේ මහින්දෝදය විද්‍යාගාර සෑම පාසලකම ආරම්භ කරලා තාක්ෂණවේදය විෂය ධාරාව රටේ අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දුන්නෙ. එහෙත් කලා, වාණිජ සහ විද්‍යා විෂය ධාරාවලින් පමණක් අධ්‍යාපනය ලබපු දරුවන් දැන් තාක්ෂණවේදය යටතේ විවිධ විෂය ක්ෂේත්‍ර පිළිබඳව හදාරනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස