උසස් අධ්‍යාපනයේ ගැටලුවලට විසඳුම් ආරක්ෂක අමාත්‍යංශය යටතේ සෙවීම වැරදියි…! – ගෙවිඳු….

August 9, 2021 at 2:27 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග සමඟ ඉරිදා මව්බිම (08) පුවත්පත සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකි.

කොවිඩ් පැතිරීම වැඩිවෙලා, රෝහල්වල ඉඩ නැහැ. රෝගීන් ගස් ගල් යට. නමුත් ආණ්ඩුවට තවමත් මේක පාලනය කර ගන්න පුළුවන් වෙලා නැහැ නේද?

අද වන විට බොහොම අවාසනාවන්ත විධියට කොවිඩ් රෝගීන් වැඩිවීමක් පෙනෙන්නට තිබෙනවා. එය ඩෙල්ටා ප්‍රභේදය කියලා බොහෝ දෙනෙක් සැක කළත් තව ම නිශ්චිතව කියන්නට බැහැ. නමුත් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා. රාගම, කළුබෝවිල, රත්නපුර, කරාපිටිය ආදී රෝහල් බොහොමයක සීමාව ඉක්මවා තිබෙනවා. ඒ නිසා ම හදිසි තත්ත්වයක් ප්‍රකාශ කොට තිබෙනවා. මෙය ඉතා ම අභියෝගාත්මක තත්ත්වයක්. මේ මොහොතේ රජයට සිදුවෙනවා තිබෙන තත්ත්වය අනුව ක්ෂණික ක්‍රියාමාර්ගයකට යෑමට.

මේක තව දුරටත් සෞඛ්‍ය අංශවලට භාර දීලා ඉන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. ක්ෂණික ක්‍රියාමාර්ග වෙත ගොස් මේ තත්ත්වය පාලනය කිරීමට රජයේ කොටස්කරුවන් සහ රජය විධිහට අපිට විශාල වගකීමක් තිබෙනවා. තවම එක ම එන්නතක් නොලද රටවල් ලෝකයේ තිබෙනවා. නමුත් අපේ රටේ ඉතා ම සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළක් තිබෙනවා. ජනාධිපතිතුමා මෙතන දී ලෝකයට ම ආදර්ශයක් ලබා දී තිබෙනවා. පසුගිය කාලය තුළ මෙය සාර්ථකව පාලනය කර ගත්තා. නමුත් මේ සියලු කැපකිරීම් අපතේ යනවා ක්ෂණික විසඳුමකට නොගියොත්.

සංචරණ සීමා ලිහිල් කළා, රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවකයින් 100%ක් කැඳවීම් කළා, විදෙස් සංචාරකයින්ට ඉඩ දුන්නා. මේ සියල්ල කරන්න ඉක්මන් වීම තුළ නෙවෙයි ද ඔබ කියන අපරාධය සිදුව තිබෙන්නේ?

රාජ්‍ය සේවකයින් සම්පූර්ණයෙන් කැඳවීම සම්බන්ධයෙන් අපේ අදහස වෙන්නේ එය නොගත යුතු තීන්දුවක් සහ මේ මොහොතේ නොකළ යුතු දෙයක් කියන එකයි. රට දිගට ම වහගෙන ඉන්නේ නැතිව විවෘත කළ යුතුයි කියන කාරණය ගැන අපිට දෙගිඩියාවක් නෑ. ත්‍රස්තවාදයට එරෙහි සටනේදීත් අපි එක දිගට ම ඉදිරියට ගියේ නැහැ. ආපස්සට ආවා. මේ කාරණයේදීත් අපට පුළුවන් ආපස්සට පියවරක් තැබීමට. මේ කර්තව්‍ය තුළ ඉදිරියෙන් ම සිටින සෞඛ්‍ය අංශවලට, ආරක්ෂක අංශවලට තර්ජනාත්මකව බලපෑම් කරනවා නම් අපිට පුළුවන් වෙන්න ඕනෑ දූරදර්ශීව පියවරක් ආපස්සට තැබීමට. සංචරණ සීමා සම්බන්ධයෙන් වුණත් අපි කියන්නේ යම් මට්ටමකට පාලනයකට නතු කළාට පසු නැවත විවෘත කිරීම තමයි වඩාත් සුදුසු. දැන් හෝ ඒ තීන්දුව ගත යුතුයි කියන එකයි අපේ අදහස.

මේ වන විටත් දිනකට ආසාදිතයින් 2500ක් විතර වාර්තා වෙන්න පටන් අරන්. දැනටමත් රජය ප්‍රමාදයි නේද?

මරණ සංඛ්‍යාවෙන්වත් ආසාදිත සංඛ්‍යාවෙන්වත් රටේ තිබෙන භයානක තත්ත්වය නිසි පරිදි කියවෙන්නේ නෑ, කියන එකයි මගේ අදහස. රටේ ප්‍රධානතම රෝහල් කිහිපයක් ම දරාගත නොහැකි පීඩන මට්ටමක තිබෙන්නේ. ලැබෙන තොරතුරු අනුව සෞඛ්‍ය සේවකයින් අතර රෝගය පැතිරෙනවා. ඒ නිසා රජය තව එක මොහොතක්වත් පමා නොකොට විසඳුමක් ප්‍රකාශයට පත්කළ යුතුයි.

ආණ්ඩුව මේ මොහොතේ සංචරණ සීමා දැඩි කිරීමට හෝ රට නැවත වසා දැමීමේ තීන්දුවකට ගියහොත් අපේ ආර්ථිකයට මොකද වෙන්නේ කියන ප්‍රශ්නය නිරායාසයෙන්ම නැඟෙනවා නේද?

ඒ ගැටලුවට මීට පෙරත් රජය මුහුණ දුන්නා. නමුත් ආර්ථිකය බිංදුවට ම වැටිලා රටට සාගතයක් ආවේ නැහැනේ. අපිට ආර්ථිකය රැකගන්න ඕන. ඒක ඇත්ත. නමුත් මේ විදිහට සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් දරාගන්න බැරි තැනට මේක පත්වුණොත් කොහොමද ආර්ථිකය විතරක් රැකෙන්නේ? ත්‍රස්තවාදය පවතින කාලයේ ජේ.ආර්.පී. සූරියප්පෙරුම කියන ජ්‍යේෂ්ඨ දේශපාලන විචාරකයා නිතර කියපු කතාවක් තිබුණා. එතුමා කිව්වේ ම අපට සාමය අවශ්‍යයයි, නමුත් අපිට සුසානයේ සාමය අවශ්‍ය නෑ කියලයි.

“අපට ආර්ථිකයක් අවශ්‍යයි, නමුත් සුසානයේ ආර්ථිකයක් අපිට අවශ්‍ය නෑ කියල ද?” ඔබ කියන්න හදල නවත්වා ගත්තේ?
ඒක ඔබ නේ කිව්වේ. මම කී දෙයක් නෙමෙයි.

කොවිඩ් අස්සේ ආණ්ඩුව පනත් ගේන්න හදිසි වෙනවා. ඇත්තට ම මේ මොහොතේ සංවාදයට සහ විරෝධයට බඳුන් වන කොතලාවල පනත ගැන මොකක් ද ඔබේ ස්ථාවරය?

මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජුලි 08 වෙනිදා ම ආණ්ඩුවට ඕනෑ නම් එදා ම සම්මත කරගන්න තිබුණා. තුනෙන් දෙකක් අවශ්‍ය නෑ, ආණ්ඩුවේ ම කොටසක් විරුද්ධ වුණත් සරල බහුතරයකින් සම්මත කරගන්න තිබුණා. නමුත් අපි ඇතුළු රජයේ ම කොටස්කරුවෝ අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කළ නිසා තමයි, මේක එදා සම්මත නොකර සංශෝධනවලට අවස්ථාව ලබා දුන්නේ. අපි මේ ගතකරමින් ඉන්නේ ගෝලීය සහ දේශීය වශයෙනුත් අභියෝගාත්මක කාලයක්. මේ අභියෝගයට මුහුණ දෙන්න නම් අපි සෑම සියලු කොටසක් සමඟ ම එක්ව ගමන් කළ යුතුයි. එවැනි තත්ත්වයක් තුළ මෙවැනි සමාජමය බෙදීම් ඇති වෙන කාරණා ඉදිරියට ගෙන යෑම මේ මොහොතේ රජය නොකළ යුත්තක්.

මම ඔබෙන් ඇහුවොත් මොකක් ද යුතුකම සංවිධානයේ ස්ථාවරය කියලා?

මෙම පනතේ අඩුපාඩු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේ ම මූලිකව ම ගතහොත් රටේ උසස් අධ්‍යාපන ආයතන තුළත් ගැටලු ගණනාවක් තිබෙනවා. ඒවා විසඳීම රජයේ යුතුකමක් සහ වගකීමක්. ඒ ගැටලු විසඳිය යුත්තේ අපේ ප්‍රතිපත්ති අනුව යමින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින්. ඒවා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති විශ්වවිද්‍යාලයක් මගින් විසඳීමට සූදානම් වෙනවා නම් එය මුළුමනින් ම වැරදි ප්‍රවේශයක්. අපි ඊට එකඟ නෑ.

වසංගතයේ අවදානමත් නොතකා ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට පාරට බහින්න වෙලා තියෙනවා. මේ ප්‍රශ්නයට රජයේ විසඳුම කුමක් ද?

අපේ රජය ප්‍රතිපත්තිමය වශයෙන් ඊට එකඟයි නේ. ඒ ගැන ගැටලුවක් නෑ. සෞභාග්‍යයේ දැක්ම තුළත් ගුරු සේවාව වැටුප් සම්බන්ධයෙන් අසාධාරණයට පාත්‍ර වූ වෘත්තියක් විදිහට දක්වල තියෙනවා. ඒ නිසා ම මෙය විසඳිය යුතුයි කියන ස්ථාවරයේ රජය ඉන්නවා. මේ මොහොතේ රජය ගුරුවරු සහ විදුහල්පතිවරු සමඟ සාකච්ඡා කරල විසඳුමකට එන එක තමයි වඩා සුදුසු.

ආර්ථික අර්බුදයටත් ආණ්ඩුවට විසඳුමක් නෑ. ණය ගන්නවා, රටේ දේපොළ විකුණනවා, මුදල් අච්චු ගහනවා විතරයි කියලයි, ආණ්ඩුව චෝදනා කරන්නේ?

ණය ගන්න පටන් ගත්තේ මේ ආණ්ඩුව නෙමෙයිනේ. මේක විශේෂ අර්බුදයක් අභියෝගයක් තියෙන මොහොතක් නිසා මුදල් අච්චු ගැසීම ගැනත් චෝදනා කරන්න බැහැ නෙ.

මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය ඉහළ යාමේ බරත් වැටෙන්නේ ජනතාවගේ කරපිට නේද?

මෙහෙමයි ඉතින් සෑම ක්‍රියාවකට ම අදාළ ප්‍රතික්‍රියාවක් තියෙනව නෙ. මෙවැනි ව්‍යසනකාරී මොහොතක මේ රජය පත්වීම ම රටේ ජනතාවගේ වාසනාවක් විදිහටයි මම දකින්නේ.

කැබිනට් එකේ ගන්න තීන්දු තීරණ පසුපෙළට එන්නේ නෑ, නවක මන්ත්‍රීවරුන්ට කියන්නේ නෑ, කියල මැසිවිල්ලක් නැඟෙනවා. ඔබටත් එවැනි අත්දැකීමක් තිබෙනවා ද?

කැබිනට් ආණ්ඩු ක්‍රමයක් තුළ ඒක තිබෙනවා. නැහැයි කියන්න බැහැ. කැබිනට් එකේ සාකච්ඡා කෙරිලා පනත් ඉදිරිපත් වෙලා ඒවා පාර්ලිමේන්තුවට ගේන ආණ්ඩු පක්ෂ රැස්වීම්වල දී තමයි අපිට ඒවා ගැන සාකච්ඡා කිරීමට අවකාශ ලැබෙන්නේ. එතකොට අපිට ඒවාට ප්‍රතික්‍රියා කිරීමට ලැබෙන කාලය අඩුයි. ඒක වඩා විධිමත් ක්‍රමයකට වෙනවා නම් හොඳයි. හැමෝම අණපනත් ගැන උනන්දු නැහැ තමයි. නමුත් මේ ආණ්ඩුව බලයට පත්කරන්න උදව් කළ මැදිහත් වූ පිරිසක් හිටියනේ. ඒ අයගෙන් යම් කමිටුවක් පත් කරල මේවා ගැන පූර්ව විචාරයක්. විමර්ශනයක් කරන්න අවස්ථාවක් ලබා දෙනවා නම් ඒක අපේ රජයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි අවසාන මොහොතේ ගැටලු පැන නැඟීමට පෙර.

හවුල්කාර පක්ෂ ටික ආණ්ඩුව එක්ක දීග කන්නේ ලොකු කැමැත්තින් නෙවෙයි වගේ කියන්නේ ඇත්ත ද?

ඇත්තට ම 2015 පැවතුණු රජය ගැන ඉදිරිපත් වුණු විවේචනයන් මූලික වශයෙන් හේතු වුණා යහපාලන රජය පත්වීමට. එතැන දී මැදිහත් වෙලා ඒ විවේචනය වැරදියි කියලා ඒවාට මූලික වෙලා ජනතාවට කරුණු දක්වපු කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. ඒ කොටස්වලට රජය මීට වඩා ඇහුන්කම් දීම සුදුසුයි කියන එකයි මගේ මතය. මොකද ඔවුන් එදා ගොඩනඟපු අදහස් මතවාද මතනේ ජනමතය නිර්මාණය වුණේ. මේක විසඳගන්න හොඳ ම තැනක් තමා පක්ෂ නායක රැස්වීම.

ජනාධිපතිතුමා පක්ෂ නායකයා වීම තුළ සහ පොදු සන්ධානයක් ගොඩනැඟීම තුළ මේ ගැටලු අවම වෙයි කියල හිතන පිරිසකුත් ආණ්ඩුව තුළ සිටිනවා නේද?

පොදු සන්ධානය හැදෙනවා කියන එක හොඳයි. ඒකේ ගැටලුවක් නැහැ නෙ, පක්ෂ නායක රැස්වීම් නිරන්තරයෙන් කැඳවීම තුළත් මේ ගැටලු අවම වෙනවා. ජනාධිපතිතුමා පක්ෂ නායකයෙක් වීම ගැන කතා කළොත් මම මෙහෙම කියන්නම්. මෙතැන දී මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉලක්ක කරගෙන නෙවෙයි මේ කතාව කියන්නේ. ජනාධිපතිකම කියන්නේ රටේ ප්‍රධානම තනතුරක්. රටේ ආරක්ෂාව භාර බුද්ධ ශාසනය භාර උත්තම තනතුර ඒක.

ඒ තනතුර එදිනෙදා පක්ෂ දේශපාලනයට වඩා ඉක්මවා යන තැනක සිටියත් වරදක් නැහැ. ඒ ධූරය දරන කෙනා එදිනෙදා දේශපාලන වාද විවාදවලට පැටලෙන්නේ නැතිව ඒවා දිහා බලන් ඉඳලා අවශ්‍ය තැන දි මැදිහත්වෙන උදාරතම උත්තම ධූරයක් විදිහට ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. ඒකෙන් කියවෙන්නේ නෑ. ජනාධිපතිවරයා රටේ දේශපාලනයට සංවේදී නොවිය යුතුයි කියලා.

යුතුකම සංවිධානය නිරන්තරයෙන් ඉස්මතු කළ කාරණයක් තමයි බැඳුම්කර මගඩිය සහ පාස්කු ප්‍රහාරය පිළිබඳව. මේ වන විට ආණ්ඩුව ඒවා සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?

මේවා තමයි ජනතාව අපි ඉස්මතු කළ මූලික කාරණා. ඒ වගේ ම රජයත් කතා කළ මූලික තේමා තමයි මේවා. මේවා සම්බන්ධයෙන් අපේ රජයට සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විශේෂ වගකීමක් තිබෙනවා. අපි බලාපොරොත්තු වුණේ අවංක ඍජු නායකත්වයක්. රටේ ජනතාව එතුමා කෙරේ විශ්වාසය තැබීමේ පදනම බැඳී තිබෙනවා ඒ කාරණා කිහිපයක් සමඟ.

නමුත් මේවා ගැන අහපුවාම රජයේ මහජන නියෝජිතයෝ කියන්නේ අපිට අධිකරණයට බලෑම් කරන්න බෑ වගේ වැල යන අතට මැස්ස ගහනවා වගේ උත්තර නේද?

එතැන දී අධිකරණ ක්‍රියාමාර්ග ගැන එවැනි අදහසක් තිබුණත් රජයේ හැසිරීමෙනුත් ඒවා සම්බන්ධයෙන් ඇති උනන්දුව පේන්න ඕනෑ. 20 වෙනි සංශෝධනයේ දී ජනතාවගේ චෝදනාවලට ලක්වුණු රිෂාඩ් බදියුදීන් සහ ඔවුන්ගේ පක්ෂවල අයගෙන් සහයෝගය ගත්තා. ඉන් පසු ඔහුගේ සහෝදරයා නිදහස් කළා. මේවා ගැන ජනතාවට සැක සංකා මතුවුණා. ව්‍යාකූල චිත්‍රයක් මැවුණා. අපිට කිසිදු ජන වර්ගයක් හෝ පුද්ගලයෙක් සම්බන්ධයෙන් ගැටලුවක් නෑ. නමුත් මේ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් හෙළිදරව් කරලා තරාතිරම නොබලා දඬුවම් දෙන්න කියන එක තමයි හැමෝම ඉල්ලන්නේ.

ආණ්ඩුව මෙතෙක් ආපු ගමන ගැන යුතුකම සංවිධානය විදිහට සතුටක් තිබෙනවා ද? කළ වැඩ ගැන තෘප්තිමත් ද?

පළමු වැනි දේ තමයි අද විපක්ෂය කොහොම කතා කළත් එදා අවසාන මොහොතේ පවා උත්සාහ කරමින් සිටියේ MCC වැනි අපේ රට සහමුලින් පරාද කරන ගිවිසුම් අත්සන් කරන්නයි. මේ වෙද්දිත් ඒ රජය පැවතුණා නම් අද රට රෝගයෙනුයි හාමතෙනුයි දෙකෙන් ම බහුතරයකින් පීඬා විඳිනවා. රට විසාලාවටත් වඩා භයානක තැනකට වැටෙනවා. ඒ නිසා වර්තමාන රජය බලයට පත්කරන්න අපි කළ මැදිහත් වීම සම්බන්ධයෙන් අපිට දෙගිඩියාවක් පශ්චාත්තාප වීමක් නෑ. ඒ ගැන අපි සතුටු වෙනවා.

නමුත් ඔබ අහනවනේ තෘප්තිමත් ද කියලා. ඒ සම්බන්ධයෙන් නම් අපි සම්පූර්ණයෙන් තෘප්තිමත් නෑ. මේ රජය පත්වුණා ම තරුණයෝ පාරවල්වල, තාප්පවල චිත්‍ර ඇන්දා, පුරන් කුඹුරු අස්වැද්දුවා, ඒවා තුළ තිබුණේ අති විශාල බලාපොරොත්තු සමුදායක්. අපි ම අපේ රට හදුමු කියන අපේක්ෂාවයි ඒවා තුළ තිබුණේ. බොහෝ තැන්වල ඒ අපේක්ෂාවන් ඉටු වුණා සහ නිවැරදි තීන්දු තීරණ ගත්තා. නමුත් ඒ අතරතුර ඇතැම් කාරණා සම්බන්ධයෙන් ගත්තු තීරණ සම්බන්ධයෙන් අපි තෘප්තිමත් නැහැ. ජනතාවගේ හැඟීම්වලට නොරිදවා ඔවුන්ගේ එකමුතුවට හානියක් නොකර මේ කටයුතු ඉදිරියට ගෙන යෑමට නම් අපේ රටේ නායකයන් ප්‍රඥාගෝචර වෙන්න ඕන කියලා අපි සිතනවා.

අරුණි මල්ලවආරච්චි

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස