උද්දච්ඡ ආණ්ඩුව ඩොලර් එක 45%ක පොළියට ණයට ගන්න තැනට ආර්ථිකය විනාශ කරලා..! – හර්ෂ…

December 25, 2021 at 7:48 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුව උද්දච්ඡ ලෙස විශේෂඥ උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට රට සම්පූර්ණ අගාධයකට තල්ලු කර දමා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

“බැංකු එච්චරටම අසරණ තත්ත්වයට පත්වෙලා, වෙන කොහෙන්වත් ඩොලර් ගන්න හැකියාවක් නැති නිසා කියනවා ස්වොප් එකට එකඟ වෙන්නම්, 200ක් මම අද දෙන්නම් ඔබ මට දෙන ඩොලර් එකට, නමුත් මාසෙකින් මම ඒ ඩොලර් එක නැවත ඔබට දෙනකොට ඔබ මට දෙන්න ඕනෙ 192.25යි කියලා. ඒ කියන්නෙ වාර්ෂික ගණන් තියලා බැලුවොත් එහෙම අද ඩොලර් ණයට ගන්නෙ 40% – 45% කට වගේ පොලියකට. ඒක තමයි ඇත්ත කතාව.

31 වෙනිදා වෙනකල් කොහොමහරි මේ රුපියල මිනිස්සුන්ට දසවධ දීලා හරි මේ ගාණට තියන් ඉන්නවා, දත්ත ටික බැලන්ස් කරගන්න. ඒ කියන්නෙ රුපියල අද පා කරෝතින් එහෙම 230 – 240 ට ගියෝතින් එහෙම මේගොල්ලොන්ගෙ ආර්ථික වර්ධන වේගය, උද්ධමනය, දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය, මේ ඔක්කොම බහිනවා, වැරදි පැත්තට ගමන් කරනවා. දැන් අපට ඉඟියක් ලැබෙනවා ජනවාරි 03 වෙනිදාට සාකච්ඡා කරනවා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද කියන එක ගැන.

මේ තීරණ ආණ්ඩුවට ගන්න තිබුණේ හරියටම මාස 13කට කලින්. ඒගොල්ලො කිසි විදියකටවත් උපදෙස් ගත්තෙ නෑ විශේෂඥයින්ගෙන්. කෘෂිකර්මයෙත් එහෙමයි, සෞඛ්‍යයෙත් එහෙමයි, ආර්ථිකයෙත් එහෙමයි, හැම තැනම එහෙමයි. තමන්ගෙ උද්දච්ඡකමට, තමන් සියල්ල දන්නවා, අපි තමයි හොඳටම කරන්නෙ කියලා කියලා දැන් මේ රට සම්පූර්ණ අගාධයකට තල්ලු කරලා දාලා තියෙන්නෙ. කරුණාකරලා දැන්වත් විශේෂඥ උපදෙස් අනුව වැඩ කරන්න”

ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස