උතුරේ හමුදාව ඉවත් කරන්න එපා! ආරක්ෂාව තව වැඩි කරන්න! – හමුදාවට එරෙහිව ජිනීවා ගිය ආනන්දි ශෂිදරන්ට හමුදාව ඕන වෙයි…

April 26, 2019 at 6:17 pm | by admin

රට තුළ පැන නැගී ඇති අනාරක්ෂිත හදිසි තත්වය සැළකිල්ලට ගනිමින් උතුරේ ආරක්ෂාව වැඩි කරන ලෙසත් ආරක්ෂක හමුදාව පළාතෙන් ඉවත් නොකරන ලෙසත් උතුරු පළාත් හිටපු වනිතා කටයුතු ඇමැතිනි ඊල මක්කල් සුයාට්චි කලහම් පක්ෂයේ නායිකා ආනන්දි ශෂිධරන් මහත්මිය පවසයි.

උතුරේ ආරක්ෂක හමුදාව ඉවත් කරන ලෙසට පෙර අවස්ථාවලදී රජයට බලපෑම් කළද තමාගේ ඇතුළු පළාතේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවේ හා පොලිසියේ ආරක්ෂාව ශක්තිමත් කළ යුතු යැයි ද ඇය කියා සිටියාය.

රට තුළ පැන නැගී ඇති අනාරක්ෂිත තත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශෂිධරන් මහත්මිය මේ බව අවධාරණය කළාය.

එමෙන්ම පසුගිය පාස්කු ඉරිදා (21) වැනි දා දිවයිනේ ස්ථාන අටකට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරවල සම්පූර්ණ වගකීම රජය බාරගත යුතු බවත් රජයට ලද බුද්ධි තොරතුරු පිළිබඳ නිසි අවධානය යොමුකර අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබිණි නම් මෙවන් විනාශයක් සිදුනොවන බවත් සඳහන් කළාය.

ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකිකයින් වශයෙන් ජාති බේදයකින් තොරව එක්ව නැගී සිටිය යුතු බවත් මහජන ආරක්ෂාව සහ සාමය වෙනුවෙන් රජය හැකි උපරිමයෙන්ම කටයුතු කළයුතු බවත් ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයකට සම්බන්ධ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වලට සම්බන්ධ මෙරට පුද්ගලයින් කඩිනමින් අත්අඩංගුවට ගත යුතු බවත් ශෂිධරන් මහත්මිය සඳහන් කළාය.

එල්ටීටීඊ සංවිධානයේ හිටපු ප්‍රධාන පෙළේ නායකයෙකු වූ එලිලන්ගේ බිරිඳ වන ආනන්දි ශෂිදරන් උතුරෙන් හමුදාව ඉවත් කිරීම සඳහා මීට පෙර ජිනීවා පවා ගිය අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *