උතුරෙන් එළවළු තොග ලැබෙයි! එළවළු මිල පහත වැටේ!

February 17, 2020 at 9:41 am | by emanisa.lk

එළවළු තොග අලෙවි මිල ඊයේ (16) 50%කින් පහළ ගිය බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක පවසයි. එයට හේතුව උඩරට, පහතරට, මැදරට සහ උතුරු පළාත්වලින් එළවළු තොග ලැබීම බව ද ඔහු පවසයි.

දඹුල්ල තොග වෙළෙඳ පොළට ඊයේ (16) එළවළු කිලෝ ලක්ෂ 25 ක් පමණ ලැබී ඇත. යාපනය දිස්ත්‍රික්කයේ එළවළු තොග සැපයුම ඉහළ ගොස් තිබේ. ඉහළම මිලකට අලෙවි වූ උඩරට එළවළු මිල සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත. මැදරට කලාපයෙන් ලැබුණ එළවළු කිලෝවක තොග මිල රු. 60 නොඉක්මවීය.

රු. 450 ක මිලක් වාර්තා වූ උඩරට කලාපයෙන් ලැබුණ බෝංචි කිලෝවක තොග මිල ඊයේ (16) රු. 130 ක් දක්වා පහළ ගොස් ඇත. කැරට්, ගෝවා, ලීක්ස් ඇතුළු උඩරට කලාපයෙන් ලැබුණ එළවළුවල තොග මිල කිලෝවක් සඳහා රු. 180 නොඉක්මවූ බවද පැවැසේ.

ඉදිරි දිනවලදී තොග වෙළෙඳ පොළට එළවළු සැපයුම සීමාව ඉක්මවා ලැබෙනු ඇති බව විශ්වාස කෙරෙන හෙයින් එළවළු මිල අස්ථාවර වන බවද පැවැසේ.

පසුගිය මහ වැසිවලින් එළවළු කොරටු හානියට පත්වීම නිසා මිල ඉහළ යාම කෙරෙහි පමණක් අවධානය යොමු කළ ගොවීහු වෙළෙඳපොළ අවශ්‍යතාව කෙරෙහි නොතකා එළවළු වගාවට යොමුවීම මෙලෙස මිල පහළ යාමට බලපා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස