උතුරු නැගෙනහිර විදුහල්පතිවරුන් 69%ක් සහ 67%ක් පාසලට…! ගුරුවරුත් 52%ක් සහ 55%ක් එක්වෙති…!

October 22, 2021 at 7:21 am | by emanisa.lk

මෙරට සමස්ත පාසල්වලින් සියයට 50ක් ආරම්භ කැරුණු ඊයේ දිනයේ සිසුන් හා ගුරුවරුන්ගේ පැමිණීම අපේක්ෂා කළාටත් වඩා ඉතා හොඳ මට්ටමක පැවැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

එසේම, විශේෂයෙන් ම සිසුන් 200ට අඩු පාසල් යනු මේ රටේ දුගී දුප්පත් පවුල්වල දරුවන් අධ්‍යාපනය ලබන පාසල් බව පැවසූ අධ්‍යාපන ලේකම්වරයා, ඔවුන් වෙනුවෙන් රජයේත්, අධ්‍යාපන අමාත්‍යාංශයේත් වගකීම නිසි පරිදි ඉටුකරමින් පාසල් විවෘත කර ඇති නිසා තම දරුවන් පාසලට එවීමට මවුපියන් උනන්දු විය යුතු බවත් පැවසීය. සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ඊයේ (21) ආරම්භ වූ අතර, එදින සමස්තයක් ලෙස සිසුන්ගෙන් 16%ක් හා ගුරුවරුන්ගෙන් 30%ක් පාසල් වෙත පැමිණ තිබූ බවත්, ඉදිරියේදී අනිවාර්යයෙන් මෙම ප්‍රමාණය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන්ගේ පැමිණීම 7%ක් වැනි පහළ අගයක පැවති බවද, එහි ගුරුවරුන්ගේ පැමිණීම 17%ක් බවද පැවසීය. උතුරු පළාතේ සිසුන් 21%ක් සහ ගුරුවරුන් 45%ත් 52%ත් අතර ප්‍රමාණයක් ද, නැඟෙනහිර පළාතේ සිසුන් 39%ක් හා ගුරුවරුන් 45%ක් ද පාසල්වලට පැමිණ සිටි බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. සමස්තයක් ලෙස ගත්විට කොළඹට වඩා පිට පළාත්වල සිසුන්ගේ පැමිණීම හොඳ තත්ත්වයක පැවති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් මාස හයක පමණ කාලයක් වසා දමා තිබූ පාසල් අදියරගතව ආරම්භ කිරීමේ පළමු පියවර ලෙස සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ඊයේ ආරම්භ විය. මේ අතර ඊයේ (21) පාසල් ආරම්භයත් සමඟ විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැඩිම සේවයට වාර්තා කිරීම උතුරු පළාතෙන් වාර්තා වූ අතර එය ප්‍රතිශතයක් ලෙස පිළිවෙලින් සියය⁣ට 69ක් සහ 52කි. ශිෂ්‍යයින්ගේ වැඩිම පැමිණීමේ ප්‍රතිශතය නැඟෙනහිර පළාතින් වාර්තා වූයේ සියයට 39ක් ලෙසිණි.

මීට අමතරව නැගෙනහිර සහ සබරගමු පළාත්වලින් විදුහල්පතිවරුන් සියය⁣ට 67ක් සහ 55ක්ද, නැඟෙනහිර සහ ඌව පළාත් තුළ පිළිවෙලින් සියයට 45ක් සහ සියයට 30ක් වශයෙන් ගුරුවරුන් සේවයට වාර්තා කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස