උතුරු නැගෙනහිරට ස්වං පාලන ෆෙඩරල් විසඳුමක් ඕන! නැත්නම් වෙනම රටක් වෙනුවෙන් තරුණයන් ආයෙත් සටනට එනවා! – ශිවාජිලිංගම්

June 3, 2020 at 5:05 pm | by emanisa.lk

තමන්ට තමන්වම පාලනය කරගත හැකි ස්වයංපාලන ව්‍යූහයකින් යුත් ෆෙඩරල් පාලන විසදුමක් උතුරු නැගෙනහිර ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසඳුමක් වශයෙන් ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පවසයි.

දෙමළ ජනතාව බලාපොරොත්තු වන එම  විසඳුම ලබා නොදෙන්නේ නම් එම ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලන තැනට යළිත්  තල්ලු වනු ඇති බවද සිවාජිලිංගම් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ශ්‍රීලංකා රජයෙන් බලාපොරොත්තු විය නොහැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වී උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාව අතර ජනමත විචාරණයක් සිදුකර දෙමළ ජනතාවගේ ඉල්ලීම් තේරුම්ගත යුතු බවත්   හෙතෙම සඳහන් කළේය.

ජනවාර්ගික අර්බුදයට විසඳුම් ගෙන ඒමට අපොහොසත් වීම නිසාවෙන්ම උතුරේ දෙමළ තරුණයින් අවි අතට ගෙන සටන් කිරීමට සිදුවූ බවත් නැවතත් එවන් යුගයකට තල්ලු වීමට ඉඩදිය නොහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයෙන් සියලු ජනතාවට එක්සත් ලංකාවක් තුළ නිදහසේ ජීවත් වීමට ඉඩකඩ විවර කළ යුතුව ඇති බවත්  සිවාජිලිංගම් කියා සිටියේය.

තවද යුද සමයේ දී ආරක්ෂක හමුදාව අතින්  යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සිදුව ඇති බව 2015 වසරේදී ශ්‍රීලංකා රජය පිළිගෙන ඇති බවත්  ශ්‍රීලංකාවේ සම අනුග්‍රහය ඇතිව මානව හිමිකම් කවුන්සිලය යෝජනාවක් සම්මත කරගන්නේද ඒ අනුව බවත් කී සිවාජිලිංගම් ශ්‍රී ලංකාවට කිසිදු ආකාරයකින් යුද අපරාධ චෝදනාවලින් මිදී සිටිය නොහැකි බවද කීය.

තවද යුද අපරාධ,මානව හිමිකම් කඩවීම්වලට සම්බන්ධ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ විමර්ශනයක් සිදුකර අගතියට පත් පාර්ශවයට යුක්තිය ඉටුකරලිය යුතු බවත් එහි වගකීම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජගත් මානව හිමිකම් කවුන්සිලය ගත යුතු බවත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස