ඊබ්‍රාහිම් පවුලේ තඹ කම්හල රජයට පවරා ගනී…! පෞද්ගලික රාජ්‍ය හවුල්කාරීත්වයෙන් නිෂ්පාදන අරඹයි..!

November 22, 2021 at 8:35 am | by emanisa.lk

පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ්ට අයත්ව තිබියදී රාජසන්තක කළ වැල්ලම්පිටිය කොලෝසස් නමැති තඹ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පෞද්ගලික සහ රාජ්‍ය හවුල්කාරීත්ව ආයෝජන ක්‍රමය යටතේ යළි ආරම්භ කිරීමට රජය සැරසෙයි.

ඒ සඳහා එම කර්මාන්තශාලාව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත පවරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කරන අතරම එහි ඉතිරි ඉඩකඩ 2022 අයවැයෙන් යෝජනා කළ වාහන සංරචක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සඳහා ප්‍රයෝජනයට ගත හැකි යැයි අමාත්‍යවරයා යෝජනා කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර මෙම කර්මාන්තශාලාව දේශීය අබලි තඹ ද්‍රව්‍යවලින් තඹ වයර් නිෂ්පාදනයට භාවිත කර ඇති අතර එහි ඇති යන්ත්‍රෝපකරණ මේ වන විටත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බවත් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

මෙම කර්මාන්තශාලාව රාජසන්තක කිරීමේ අරමුණ ඉෂ්ට කරගැනීම උදෙසා ඉන් උපරිම ආර්ථික ප්‍රතිලාභ ගත යුතු බවත් ඒ සඳහා එහි නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කළ යුතු බවත් අමාත්‍යවරයාගේ යෝජනාව වී තිබේ. ඒ අනුව ආනයන ආදේශක සහ ගෘහස්ථ ඉල්ලුම සඳහා පිත්තල උපකරණ නිෂ්පාදනයට පෞද්ගලික හා රාජ්‍ය හවුල්කාරිත්වය යටතේ මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීම සුදුසු බවත් අමාත්‍යවරයාගේ යෝජනාවේ දැක්වේ.

අංක 111/ඒ/ 6, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය, කොළඹ යන ලිපිනයේ පිහිටි කොලොසස් පෞද්ගලික සමාගමේ හිමිකරු වන මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් නමැත්තා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේදී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ සැකකරු බව පරීක්ෂණවලදී අනාවරණය විය. 2017 වර්ෂයේදී ස්ථාපිත කළ මෙම කර්මාන්තශාලාවට එවකට පැවැති යහපාලන ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් නීතියට පිටින් අබලි ද්‍රව්‍ය දුන් බවට චෝදනා එල්ල වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස