ඉස්සර මාසෙක තෙල් වියදම ඩොලර් මිලියන 150යි…! දැන් මාසෙකට මිලියන 550ක් යනවා…! තෙල් මිල ඉහළ නැංවීම අනිවාර්යයයි…!

May 5, 2022 at 12:47 pm | by emanisa.lk

මේ වන විට පවතින මිල ගණන් යටතේ ලබන දෙසැම්බර් මාසය දක්වා ඉන්ධන ලබා දීම සිදු කළහොත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මහ බැංකුවෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 550ක මුදලක් ලබා ගැනීමට අවශ්‍ය වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි

ඉකුත් අප්‍රේල් මස 18 වෙනිදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයෙන් පසුව ද මේ වන විටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන බවයි, අමාත්‍යවරයා කියා සිටියේ.

අවසන් වරට ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන විට අමෙරිකානු ඩොලරය රුපියල් 330ක් පැවතිය බවත් එය මේ වන විට රුපියල් 360ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

අප්‍රේල් මස 18 වෙනිදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට පෙර ලංකා ඛනිජ තෙල් සංස්ථාව දෛනිකව රුපියල් මිලියන 1613ක පාඩුවක් ලැබූ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මිට වසර දෙකකට පෙර මාසිකව ඉන්ධන ආනයනය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට වැය කිරීමට සිදුවුයේ ඩොලර් මිලියන 150ක මුදලක් බවත්, දැන් ලෝක වෙළෙදපලේ බොරතෙල් මිල ඉහළ යෑම ඇතුළු කරුණු හේතුවෙන් මේ වන විට මැයි මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 550ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් කර සිටියා.

භූමිතෙල් ලීටරයක් මෙරට ජනතාවට රුපියල් 87කට ලබාදීමට රජය පියවර ගත්ත ද, භූමිතෙල් ලීටරයක් සඳහා රජයට වැය වන මුදල් රුපියල් 313ක් බව පැවසූ අමාත්‍යවරයා, ඩිසල් සහ පෙට්ට්‍රල් සඳහා ද රජය තවමත් ජනතාවට සහනාධාර ලබාදෙමින් සිටින බව අනාවරණය කරයි.

මේ හේතුවෙන් ලබන පාඩුව අවම කිරීමට සහ ඉදිරියේදී ඉන්ධන මිල දී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සලසා ගැනීම සඳහා LIOC සමාගම සහ CPC සමාගම කැබිනට් මණ්ඩලයට විනිවිදභාවයකින් යුතු මිල සුත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *