ෆයිසර, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂණ කණ්ඩායමක් කර ඇති පරීක්ෂණයක දී තහවුරු වී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
එම එන්නත් ලබාගත් පුද්ගලයන් ලක්ෂ 8කට වැඩි පිරිසක් යොදාගෙන කරන ලද පරීක්ෂණයක දී හෙළිදරව් වී ඇති මෙම තොරතුරු ඇමරිකාවේ පළ වන Science සඟරාවේ ද පළ කර ඇති බව හෙතෙම සඳහන් කළේය.
මේ අනුව පසුගිය මාර්තු මාසයේදී සියයට 89ක් ලෙස පැවැති ෆයිසර් එන්නතේ ඵලදායීත්වය මේ වන විට සියයට 58ක් දක්වාත් මාර්තු මාසයේ දී සියයට අසූ හතක් ලෙස පැවැති මොඩර්නා එන්නතේ ඵලදායිත්වය මේ වන විට සියයට 43දක්වාත් මාර්තු මාසයේ දී සියයට 86ක් ලෙස පැවැති ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතෙ ඵලදායිත්වය මේ වන විට සියයට 13 දක්වාත් පහත බැස ඇතැයි රාජ්‍ය ඇමැති චන්න ජයසුමන වැඩි දුරටත් කීවේය.