ඉන්ධන මිල වැඩි කළේ ජනපති සහ අගමැතියි…! – පොහොට්ටු ලේකම්ට ගම්මන්පිලගෙන් දැඩි ප්‍රහාරයක්..

June 13, 2021 at 3:14 pm | by emanisa.lk

ඉන්ධන මිල වැඩි කරන තීන්දුව ගන්නා ලද්දේ ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කමිටුවක තීරණයක් අනුව බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල සඳහන් කරයි.

තමන් විසින් සිදු කළේ ජනාධිපති හා අගමැතිගේ තීරණයක් අනුව සිදු කළ මිල වැඩි කිරීම ප්‍රකාශයට පත්කිරීම පමණක් යැයිද ඔහු කියා සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ලිඛිතව දැනුම් දීමක් ඒ සම්බන්ධයෙන් කර තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්ධන මිල වැඩි කරන ලෙස දැනුම් දී තිබූ බවද ඔහු පැවසීය.

තමන් හේතුවෙන් ඉන්ධන මිල වැඩි කළේ නම් ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි රැගෙන තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ඔහු මාධ්‍ය හමුවක් අමතමින් ඉල්ලා සිටියේය.

තම නායකයා වන මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියෝගයක් මෙසේ අභියෝගයට ලක් කලේ කෙසේදැයි පරීක්‍ෂණයක් කළ යුතු බවත් ඔහු එහි දී පැවසීය.

සාගර කාරියවසම් නම් ප‍්‍රාණියෙක් මේ මහ පොලොවේ ජීවත් වන බව තමන්ද මීට වසර 05කට පමණ පෙර දැන සිටියේ නැතැයිද පැවසූ ඇමතිවරයා අද ඒ ප‍්‍රාණියා මහින්ද රාජපක්‍ෂ නම් චරිතයට අභියෝග කරන තැනට පත් වූයේ කෙසේදැයි ඔහු මවිතය පල කලේය.

මහ ලේකම්වරයා විසින් අගමැති මහින්ද රාජපක්‍ෂගේ පින්තූරය භාවිත කරමින් මහින්ද රාජපක්‍ෂටම විරුද්ධව ලිපියක් ලියා ඇතැයිද කී ඇමතිවරයා මෙම නිවේදනය ගැන ජනාධිපති හෝ අගමැති පවා කිසිදු දැනුම්වත් වීමක් නැතැයි ද පැවසීය.

එමෙන්ම නිවේදනය නිකුත් කිරීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු එකඟතාවක් නොතිබූ බවත් එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව හෝ ඉදිරිපෙළ කිසිවෙකු හෝ දැනුම්වත් කර නැති බවත් කී ඇමැකි ගම්මන්පිල මේ ගැන ඇමතිවරුන් කිහිප දෙනෙකුම තමන් අමතා දැන්වූ බවත් පැවසීය.

මෙම සිදුවීම පසුපස බැසිල් රාජපක්‍ෂ මහතා සිටින්නේදැයි මාධ්‍ය කල විමසීමේදී ඇමතිවරයා සදහන් කලේ තමන් පසුපසනම් බැසිල් රාජපක්‍ෂ මහතා නැති බවත් සාගර කාරියවසම් පසුපස මහතා බැසිල් රාජපක්‍ෂ මහතා සිටින්නේදැයි දන්නේ ඔහුම බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස