ඉන්දීය ප්‍රාන්ත ආණ්ඩු සතු බලතල මෙරට පළාත් සභාවලට! උතුරු නැගෙනහිර එකතු කිරීම සඳහා දෙපළාතේ ජනමත විචාරණයක්!

March 6, 2019 at 2:35 pm | by admin

ඉන්දියාවේ ප්‍රාන්ත සඳහා බලය බෙදා ඇති ආකාරයට මෙරට පළාත් සභා සඳහා බලය බෙදා හරිමින් ජාතික ගැටලුවට නිශ්චිත කාලයක් ඇතුළත විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් මෙරට සියලු දේශපාලන පාර්ශ්ව හා සාකච්ඡා කිරීමට ආනන්ද සංගරී මහතාගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

එම පෙරමුණේ මධ්‍යම කාරක සභාව පසුගියදා යාපනයේදී රැස්වී මෙම තීරණය ගෙන තිබේ.

මෙහිදී පක්‍ෂයේ ප්‍රධාන තනතුරු වෙනුවෙන් සභිකයන්ද පත්කර ඇති අතර එහිදී පක්‍ෂයේ සභාපති ධුරය සඳහා ටී. රාධා සිංහම් මහතාත් පක්‍ෂයේ මහ ලේකම් ධුරය සඳහා ආනන්ද සංගරී මහතාත් පත්ව තිබේ.

මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී උතුර නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම පිළිබඳ එම පළාත්වල ජනතාවගේ මතය විමසීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයිද යෝජනා කර ඇත.

උතුර, නැඟෙනහිර පළාත්වල රැකියා විරහිත තරුණ තරුණියන්ගේ දත්ත ඒකරාශී කිරීමට මධ්‍යස්ථාන ස්ථාපිත කළ යුතු බවත් එම දත්ත අනුව රැකියා අවස්ථා ලබා දීමට අවශ්‍ය පියවර ගන්නැයි එම පක්‍ෂය රජයෙන් ඉල්ලා සිටීමටද යෝජනා කරගෙන තිබේ.

තවද යුද්ධයේ අවසාන කාලයේදී සිදු වූ බව කියන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර මැදිහත්වීම මත විමර්ශනයක් කොට සත්‍ය සොයා ගත යුතු බවද ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බවද මෙම රැස්වීමේදී යෝජනා වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *