ඉන්දියාව තිරිකුණාමල තෙල් ටැංකි අවු. 17ක් භාවිත කරන්නේ නීති විරෝධීව! – වෘත්තීය සමිති ශ්‍රේෂ්ඨාධිකරණයට…

November 15, 2020 at 10:11 am | by emanisa.lk

තිරිකුණාමලය චීන වරායේ පිහිටි තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගම භාවිත කරන්නේ කිසිදු බදු ගිවිසුමකින් තොරව නීති විරෝධීව බව චෝදනා කරමින් වෘත්තීය සමිති හතරක් ඇතුළු පාර්ශ්ව පහක් එක්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුව හෙට (16) විභාගයට ගැනීමට නියමිත ය.

2003 පෙබරවාරි 07 වැනි දින එවකට මුදල් අමාත්‍යංශයේ ලේකම් චරිත රත්වත්තේ, තෙල් සංස්ථාවේ සභාපති දහම් විමලසේන හා ඉන්දියන් තෙල් සමාගමේ නාගේෂ්වරන් යන අය එක්ව මූලික එකඟතාවක් මත මාස හයක් තුළ ගිවිසුමකට එළඹිය යුතු බවට සඳහන් කොට ඇත. ඒ අනුව චීන වරායේ පිහිටි තෙල් ටැංකි 99කින් ටැංකි 14ක් භාවිත කරන අතර එක් ටැංකියක් සඳහා වසරකට ඇමරිකානු ඩොලර් දහසක මුදලක් ගෙවීමට එකඟ වී තිබේ.

කෙසේ වෙතත් මූලික එකඟත්වය අනුව 2003 අගෝස්තු 07 වැනි දින වන විට තෙල් සංස්ථාව හා ඉන්දියන් තෙල් සමාගම අතර ගිවිසුමකට එළඹිය යුතු වුවත් වසර 17ක් තිස්සේ නීතිවිරෝධීව එසේ සිදු නොකොට චීන වරායේ තෙල් ටැංකි භාවිත කරයි. එසේ භාවිත කරන තෙල් ටැංකි 14න් එකක් කඩා කුඩා ටැංකි දෙකක් ඉදි කර ඇත්තේ නීති විරෝධීව බව වෘත්තිය සමිති චෝදනා කරයි.

සාමාන්‍යයෙන් එහි තෙල් ටැංකියක් සඳහා ශ්‍රී ලංකා රජයට ඉන්දියන් තෙල් සමාගම වසරකට ලබා දෙන කුලිය රුපියල් එක්ලක්ෂ අසූදහසක් පමණ වේ. කෙසේ වෙතත් උතුරේ පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් 2007 සිට 2010 වසර දක්වා කාලයේදී එම ඉන්ධන ටැංකිවල කුලියට ගබඩාකර තෙල් සංස්ථාව උතුරට තෙල් යවා ඇත. ඒ සඳහා වසර හතරට ඉන්දියන් තෙල් සමාගම තෙල් සංස්ථාවෙන් රුපියල් මිලියන 945ක් ඉල්ලා ඇත.

2008 වසරේ පමණක් මිලියන 361ක්ද, 2009 වර්ෂයේ පමණක් මිලියන 328ක් වශයෙන් ඉල්ලා තිබේ. එය තම නිවස රුපියල් දහසකට බදු දී එම නිවසින් කාමරයක් රුපියල් පහළොස් දහසකට යළි ලබා ගැනීම වැනිය. දැනට ත්‍රිකුණාමලය වරාය දෙසට ඇති ටැංකි 14 ඉන්දියන් තෙල් සමාගම භාවිත කරන අතර චීන වරාය මාර්ගයෙන් බටහිර දෙසට ඇති රට තුළ පිහිටුවා තිබෙන ටැංකි 85 තවදුරටත් වනයට යට වෙමින් දිරාපත් වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවේ තමන්ද වගඋත්තරකරුවකු නිසා ඊට පිළිතුරු දීමට නීතිමය ගැටලුවක් ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස