ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් බවට සැක කරන ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට පෙර මාලිගාවත්ත ප්‍රදේශයේ රහසිගත ස්ථානයකදී කිසියම් දිවුරුමක් ලබාදී ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
එය පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් සිය ප්‍රහාරය එල්ල කිරීමට පෙර සිදුකළ දිවුරුම හා සමාන එකක් බව ආරක්‍ෂක අංශ පවසයි.
එම දිවුරුම සිදුකළ අවස්ථාවේදී ලබාගත් ඡායාරූප කීපයක් ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ත්‍රස්තවාදීන්ගේ ජංගම දුරකථනවල තිබී එරට පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එම ඡායාරූප ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදීමට ද ඉන්දීය ආරක්‍ෂක අංශ කටයුතු කර ඇත.
මේ අතර මෙම ත්‍රස්තවාදීන් බවට සැකකරන පුද්ගලයන් දිවුරුම ලබා දුන් මාලිගාවත්ත ප්‍රදේශයේ රහසිගත ස්ථානය රජයේ රසපරීක්‍ෂකවරයාගේ පරීක්‍ෂාවට ලක්කර තිබේ. එම දිවුරුම ලබාදුන් අවස්ථාවේ අන්තවාදී ආගමික පාඨ සඳහන් කර තිබූ බැනරයක් දිවුරුම ලබාදෙන ස්ථානයේ සවිකර තිබී ඇත.
එම දිවුරුම ලබාදීමෙන් පසු ත්‍රස්තවාදීන් අදාළ බැනරය පුලුස්සා දමා තිබූ බව ආරක්‍ෂක අංශ විසින් සොයාගෙන තිබේ. එසේ පුලුස්සා තිබූ බැනරයේ කොටස් රජයේ රසපරීක්‍ෂකවරයා විසින් සිය භාරයට ගත් බවද ආරක්‍ෂක අංශ පවසයි.
ආරක්‍ෂක අංශ හෙළිකර ගත් තොරතුරුවලට අනුව මෙම ත්‍රස්තවාදීන් දින දෙකකදී අවස්ථා දෙකක මෙසේ දිවුරුම් ලබාදී ඇත. එම දින දෙකේදීම ඔවුන් ඡායාරූප ද ගෙන ඇත.
පළමු දිනයේ දිවුරුම ලබා දුන් අවස්ථාවේ ඡායාරූප ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනාගෙන් දෙදෙනකු පමණක් පළමු දින දිවුරුම් ලබාදීම සඳහා එක්ව සිටි බව ඔවුන් සතුව තිබූ ඡායාරූපවලින් හඳුනාගෙන ඇත.
දෙවැනි දිනයේ ලබාදුන් දිවුරුමේදී ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනාම සිට ඇති බව එදින ගත් ඡායාරූපවලින් හෙළිවී තිබේ.