ඉන්දියාවට වඩා ලංකාවේ තත්ත්වය බරපතළයි…! තවත් සති දෙකකට රට වසා දැමිය යුතුයි….!

June 10, 2021 at 11:50 am | by emanisa.lk

මෙරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන බවත් එම තත්ත්වය තව දුරටත් වර්ධනය වුවහොත් ප්‍රතිකාර ලබාදීමේ දී සෞඛ්‍ය අංශ ඉතා දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා දැනට පනවා තිබෙන සීමා තව දුරටත් අඛණ්ඩව පවත්වා ගෙන යාමට රජය කටයුතු කළ යුතු යයි සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු පැවසීය. දැනට ක්‍රියාත්මක සංචරණ සීමාවල බොහෝ අඩුපාඩු ඇතැයි ද පවසන ඔහු එම අඩුපාඩු නිවැරදි කර ගනිමින් ඒවා යළි පැනවිය යුතු බවද පැවසීය.

මෙම සීමාවල යම් ප්‍රගතියක් අත්කර ගැනීමට නම් සති දෙකකට වැඩි කාලයක් එය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව ද පවසන වෛද්‍ය ලක්කුමාර දැනට පවතින අඩුපාඩු නිසා තවම ප්‍රගතියක් අත්කර ගැනීමට නොහැකි වී ඇතැයිද කියා සිටියි.

ශ‍්‍රී ලංකාවේ ජනගහනය ඉන්දියාවේ ජනගහනයට සාපේක්ෂව ගෙන බලන විට මෙරට කොරෝනා වෛරසය පැතිරයාම හා මරණ සංඛ්‍යාව ඉන්දියාවට වඩා ඉහළ තත්වයක පෙන්නුම් කරන බවත් ඔහු පවසයි.

මේ තත්වය යටතේ පවතින සීමා කිසිසේත්ම ඉවත් නොකළ යුතු බවද පවසන ඔහු තත්ත්වය පිළිබඳව තවත් ගැඹුරින් සලකා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස තම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා යැවූ බව ද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස