ඉදිරියේ දී කොවිඩ් මරණ ඉහළ යාම වළක්වන්න බෑ…! දිස්ත්‍රික් සංචරණ සීමා ඇතුළු දැඩි පියවර ගන්න…! – වෛද්‍ය සංගම් ජනපතිට ලියයි…

May 10, 2021 at 12:26 pm | by emanisa.lk

ඉදිරි සති 03 හා ඉන් ඔබ්බට කාල සීමාවේ කොවිඩ් මරණ ඉහළ යෑම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය , ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර්විද්‍යාල කමිටුව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.

මේ වන විට සමාජයේ රෝගීන් හමු වීම අවම වශයෙන් තුන් ගුණයකින් පමණ වැඩි වී තිබීම මීට හේතුව බව එම ලිපියේ සඳහන් වේ.

රෝගීන්ට දැඩි සත්කාර ඒකක මෙන් ම රෝහල් ඇඳන් සඳහා ද පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද මෙම වෛද්‍ය සංගම් පෙන්වාදෙයි. පරීක්ෂණ සේවා ගොඩගැසී ඇති බැවින් රසායනාගාරවලට සේවා සැපයිය හැක්කේ රෝහල්ගත රෝගීන්ට පමණක් බව ද එම ලිපියේ දැක්වේ.

වහාම වයිරසය පැතිර යෑම සිමා නොකළහොත් වසංගතය වෙනුවෙන් වැයකළ යුතු මුදල තව දුරටත් ඉහළ යනු ඇති බවද සඳහන්ය.

එම නිසා විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව අවශ්‍ය ප්‍රදේශ අගුලු දැමීම හා දිස්ත්‍රික්ක අතර සංචරණ සිමා පැනවීම ඇතුළු වහාම ක්‍රියාත්මක කළ යුතු පියවර 07ක් පිළිබඳව එම ලිපියෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *