ඉදිරියට අධිවේගී මාර්ග හදන්න පෞද්ගලික අංශයට ඉඩ නෑ! මධ්‍යම අධිවේගය හදන්නේ ආණ්ඩුවේ මඟ නැඟුමෙන්! – අගමැති

December 19, 2020 at 7:08 pm | by emanisa.lk

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී මෙතෙක් පැවති ක්‍රමය වෙනස් කර මඟ නැඟූම ඔස්සේ මහා මාර්ග අමාත්‍යංශය මගින් සිදුකරන බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. මෙතෙක් පැවතියේ දේශීය සහ විදේශීය පෞද්ගලික සමාගම් ඔස්සේ අධිවේගී මාර්ග ඉදිකිරීම බවත් එම වගකීම රජයට ගැනීම සතුටට කරුණක් බවත් අගමැතිවරයා සඳහන් කළේ ය.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙ වන අදියර යටතේ පොතුහැර සිට ගලගෙදර දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එකතු වෙමින් අගමැතිවරයා අද (19) මේ බව ප්‍රකාශ කළේ ය.

“මම වැඩියෙන්ම සතුටු වෙනවා ජොන්ස්ටන් ඇමතිතුමත්, ලේකම්තුමත් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරලා සමාගම්වලට දෙන්නේ නැතුව, මග නැඟුම වැඩපිවෙළ ක්‍රියාත්මක කිරීම තුළින් මහා මාර්ග අමාත්‍යංශය ඒ වැඩපිළිවෙළ කරන්න තමයි බලාපොරොත්තුව. එහි සම්පූර්ණ වගකීම අරගෙන පාර රජයෙන් හදන්න කටයුතු කරලා තියෙනවා. මේක ඉතා වැදගත් අවස්ථාවක්. මොකද මේක භාරදූර කාර්යයක්. සාමාන්‍යයෙන් අපි කළේ පිටරටකට කොන්ත්‍රාත් එකක් දීලා මේ වැඩේ කරන එක. පිටරට කොන්ත්‍රාත්කරුවන්, එහෙම නැත්නම් ලාංකික කොන්ත්‍රාත්කරුවන්. දැන් රජය විසින්ම අධිවේගී මාර්ගය හැදීමේ වැඩපිළිවෙළ කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒක ලොකු දෙයක්.

තමුන්නාන්සේලා දන්නවා අප බලයට පත්වූ පසුගිය කාලය තුළදී,මේ රටේ විශාල වෙනසක් ඇති කළා. අවුරුදු ගණනාවක් තිබ්බ යුද්ධය අපි අවසන් කළා. රටේ සංවර්ධනය අපි ආරම්භ කළා. හැම අංශෙකින්ම. මහා මාර්ග විතරක් නෙමෙයි සෞඛ්‍ය ගත්තත්, යාපනය ගත්තත්, හැම පැත්තකින්ම රටේ සංවර්ධනය අපි ඇති කළා. පසුගිය අවුරුදු පහ අපිව පැත්තකට කරලා, පරාජය කරලා තිබ්බා. ඒ අවුරුදු පහ රට ආපස්සට ගියා. ආපස්සට ගිය ඒ අවුරුදු පහ එක්ක තමයි අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඒ හින්දා 2015 ඉදන් 2019 වෙනකන් පස් අවුරුද්දක් පස්සට ගිය සංවර්ධනයට කර තියලා, අපිට ආපහු එතැන් සිට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාලට, මේ ඉන්න ඇමතිවරුන්ට, හැම පළාතකම හැම අමාත්‍යංශයකම වැඩ කරන්න වෙන්නේ. මහා මාර්ග වේවා, නිවාස වැඩපිළිවෙළ වේවා, අධ්‍යාපන වේවා, අවුරුදු පහක් ආපස්සට ගිය ගමන අපි ඉදිරියට යන්න ඕනි. ඒක තමයි අපිට දැන් තියෙන කාර්යය. මේ තත්ත්වය තුළ අපට සියලු දෙනාගේ සහය අවශයයි. රටේ ජනතාවගේ සහය අපිට අවශ්‍යයි. මොකද ජනතාව මේ වැඩපිළිවෙළත් එක්ක ඉන්නවා. මේ ඉඩකඩම් සමහර වෙලාවට අපිට ගන්න වෙනවා. ඒවා ගන්න ගියාම ප්‍රමාද කරන්න නඩු පවරන වැඩපිළිවෙළවල් තියෙනවා. මට මතකයි දකුණු අධිවේගී මාර්ගය පටන් අරගෙන ඉදිරියට යනකොට සංවිධානාත්මකව නඩු පැවරීම් කළා. සාකච්ඡා කරලා තමයි අපි ඒවා විසඳා ගත්තේ.

දැන් අපිට ඒ බාධා නැහැ. ඒ නිසා ජනතාව අද සංවර්ධනය පිළිබඳව අවබෝධයක් ඇතුව කටයුතු කිරීම අපි‌ට සතුටට කරුණක්. වැදගත්. ඒ නිසා ජාතියක් වශයෙන් රටක් දියුණු කරන්න යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුයි. අපිට කළ හැකි සියලු කටයුතු අපි සිදු කරමින් යනවා. විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් තිබෙන ප්‍රදේශ සංවර්ධනය කිරීම, නිවාස වැඩපිළිවෙළ, අලි මිනිස් ගැටුම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර විශේෂ වැඩපිළවෙළක් සකස් කිරීමට අපි කටයුතු කරනවා. ජනාධිපතිවරයා ඒ සඳහා උපදෙස් දීලා තියෙනවා. තිබෙන ප්‍රශ්න හා ගැටලු හඳුනාගෙන අපි අපේ වැඩ කරනවා. ඒ සඳහා මහා සංඝ රත්නයේ වගේම ජනතාවගේ සහය අපිට අවශ්‍යයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස