ඉංග්‍රීසි ඉගැනීමයි ඉංග්‍රීසියෙන් ඉගැන්වීමයි කියන්නේ දෙකක්…! ඉංග්‍රීසියෙන් උගන්වන යෝජනාව වළලා දමන්න ඕන… – මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

June 7, 2021 at 12:22 pm | by emanisa.lk

ඉංගිරිසියෙන් ඉගැන්වීමේ යෝජනාව පටුපස මව්බස වැනසීමේ කුමන්ත්‍රණයක් ඇතැයි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි පවසයි.

“ලෝකයේ අනෙක් රටවල් දිහා බලන්න. ඒ රටවල් දියුණු වුණේ මව් භාෂාව හරහා. ඒත් අපේ ගුරුළුගෝමිලා විද්‍යාචක්‍රවර්තීලා, සෙල්ලිපිකරුවෝ මෙච්චර මහන්සියෙන් හදා දුන්නු මව් භාෂාව වූ සිංහල භාෂාව පාවා දෙන්න කොටසක් අද ඉන්නවා. ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඉංග්‍රීසි ඉගැන ගැනීමයි, ඉංග්‍රීසියෙන් ඉගැන්වීමයි කියන්නේ දෙකක්. ඒක තේරෙන්නේ නැති මිනිස්සු අපේ භාෂාව විනාශ කරන්න උත්සාහ ගන්නා. ඒ නිසා පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉංග්‍රීසියෙන් ඉගැන්වීමට ගෙනා යෝජනාව වළලා දමන්න ඕන. ඒ සඳහා අපි කටයුතු කරනවා.

‘ඉංග්‍රීසි භාෂාව අත්හැරිය යුතු නැහැ. ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියේ සිට ම ඉහළ මට්ටමින් ඉගැන්විය යුතුයි. එය කරන්නේ නැතිව අපේ මව්භාෂාව විනාශ කරන්න මේ හදන කුමන්ත්‍රණයට ඉඩ දෙන්න අපට බැහැ. ඇත්තට ම පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉංග්‍රීසි භාෂාව ඉහළ මට්ටමින් ම උගන්වන්න එක නායකයෙක්වත් උත්සාහයක් ගන්නේ නැහැ. පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉංග්‍රීසි භාෂාව ඉහළ මට්ටමින් ම ඉගැන්විය යුතු යැයි කන්නග්ගර මැතිතුමා තමන්ගේ නිර්දේශවල පැහැදිලිව ම කියා තියෙනවා. සිංහල භාෂාව එනම් මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබා දීලා, ඉංග්‍රීසි භාෂාව දෙවැනි භාෂාවක් ලෙසින් ඉහළ මට්ටමින් ම උගන්වන්න කියලා කන්නග්ගර මැතිතුමා නිර්දේශ කළා. ඒක කළේ නැති වැරැද්ද තමයි අද තියෙන ගැටළුවලට හේතුව. ඒ නිසා ඒ වැරැද්ද හදන්නේ නැතිව ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා දීම අපේකම, රටේ ස්වාධීනත්වය නැති කිරීමේ කුමන්ත්‍රණයක් ලෙස දකිනවා.

මව් භාෂාව කියන්නේ චින්තන පද්ධතියක්. අපේ චින්තය දියුණු වෙන්නේ අපේ මව් භාෂාවෙන්. මව් භාෂාවෙන් තමයි අපි හිතන්නේ. අපි හිතන දේ මව් භාෂාවෙන් තරම් වෙනත් කිසිඳු භාෂාවකින් පැහැදිලිව ප්‍රකාශ කරන්න බැහැ. ඒ වගේම භාෂාව කියන්නේ විශාල දැනුම් සම්භාරයක්. දැනුම් පද්ධතියක්. මේ දැනුම් පද්ධතිය, චින්තන පද්ධතිය විනාශ කිරීමේ සැලස්මක් ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වා ඉංග්‍රීසියෙන් ඉගැන්වීමේ යෝජනාව පිටුපස තියෙනවා කියලා හිතෙනවා.

චන්ද්‍රිකාගේ කාලේ තාරාදි මෙල් කියලා කෙනෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙලා ඔක්කොම වෙනස් කරන්න හැදුවා. චන්ද්‍රිකාටත් ඕන වුණේ ඒක. ඒත් අපි උන් එලවලා මේ රට රැක ගත්තා. වාසුදේව මහතා රාජ්‍ය භාෂා ඇමැතිවෙලා ත්‍රිභාෂා පණත ගෙනැවිත් යන්තම් මව් භාෂා ආරක්ෂා කළා. රැකුණා. දැන් මේ සියල්ල තියෙද්දි එක මිනිහෙකුට ඕන විදියට, අධ්‍යාපන ලේකම්ට ඕන විදියට අපේ රටේ අධ්‍යාපනය වෙනස් කරන්න හදනවා. මේක අධ්‍යාපන ලේකම්ගේ හිතුවක්කාර යෝජනාවක්. ආණ්ඩුව මේ යෝජනාවේ නො සිටින බව මම විශ්වාස කරනවා…”

නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගෙන ඉහළට පැමිණි පුද්ගලයකුට මෙවැනි යෝජනාවක්වත් කිරීමට නොහැකි බව මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ.

උන්වහන්සේ අවධාරණය කළේ මෙවැනි තකතීරු යෝජනා ඉදිරිපත් නොකර ඉංග්‍රීසි ඉහළ මට්ටමින් ඉගැන්වීමට සියලු පාසල් ඉලක්ක කර ජාතික වැඩසහනක් හඳුන්වා දෙන ලෙසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස