ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව පමා වීම ගැටලුවක් නෙමෙයි…! පළමු මාත්‍රාවෙන් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ලැබුණා…!- මහාචාර්ය නීලිකා මලවිගේ…

May 3, 2021 at 10:17 am | by emanisa.lk

නවතම පර්යේෂණ අනුව ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව හරියටම සති 12කින් ලබා නොදුන්නා යැයි කියා ගැටලුවක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

“දැන් ජනවාරිවල ඉස්සෙල්ලාම මේ පළවෙනි මාත්‍රාව දෙනකොට නිර්දේශ කරලා තිබුණෙ සති හතරකින් දෙවැනි මාත්‍රාව දෙන්න කියලා. ඊට පස්සෙ ආපු පර්යේෂණවලින් පෙන්නුම් කළා සති 4න් නැතුව ඒක 12න් ලබා දුන්නාම ආරක්ෂාව ඊට වඩා වැඩියි කියලා.

ඉතිං ඒක හින්දා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය දෙවැනි මාත්‍රාව සති 4කින් නැතුව සති 12කින් ලබාදෙන්නට තීරණය කළේ. දැනට තියෙන පරීක්ෂණ වාර්තා අනුව සති 12න් හරියටම දෙවැනි මාත්‍රාව ලබාදුන්නෙ නෑ කියලා ඒකෙන් ගැටලුවක් ඇතිවෙන්නෙ නෑ.

අපේ පර්යේෂණවලින් පෙන්නුම් කරලා තියෙනවා ඉතාමත්ම හොඳ ප්‍රතිශක්තිකරණයක් ඇවිල්ලා තියෙනවා එක මාත්‍රාවකට.”

මහාචාර්ය නීලික මලවිගේ මේ බව පැවසුවේ ඊයේ (02) හිරු රූපවාහිනී නාලිකාව වෙත අදහස් දක්වමිනි.

කෙසේ වුව ද මේ වන විට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා දීම ආරම්භ කර ඇති අතර ඊයේ වන විට මාත්‍රා ලක්ෂයකට ආසන්න වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *