ඇවන්ගාර්ඩ් නීති විරෝධී කියන එජාපයේ මැති ඇමතිලා 25ක් ඇවන්ගාර්ඩ් රස්සා ඉල්ලුවා! රාජිත කිරිඇල්ල සාගල කබීර් ඒ අතර ඉන්නවා! – නිශ්ශංක සේනාධිපති

June 9, 2020 at 8:01 am | by emanisa.lk

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව නීති විරෝධී බවට පුන පුනා පවසන පරාජිත රාජිත සේනාරත්න ඇතුළු එවකට යහපාලන ආණ්ඩුවේ මැති ඇමැති පිරිසක් ඔවුන්ගේ හිතවතුන් බඳවා ගන්නා ලෙස ඉල්ලූ බව නිශ්ශංක සේනාධිපති පවසයි.

ඒ අනුව 2014. 09. 03 ලිපියක් යොමු කරමින් රාජිත සේනාරත්න ඔහුගේ හිතවතකු නැව් සේවාවට බඳවා ගන්නා ලෙස ලිපියක් එවා ඇති බවත් හිටපු යහපාලන රජයේ සභානානයක ලක්ෂ්මන් කිරිඇල්ල, ඇමැතිවරුන් වූ සාගල රත්නායක, කබීර් හෂීම් ඇතුළු මැති ඇමැතිවරුන් 25ක් පමණ ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් ලිපි එවා ඇති බවත් ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා පවසයි.

මේ සෑම අයෙක්ම ලිපි යොමු කරනු ලැබුයේ ඔවුන් විපක්ෂයේ සිටිය දී බවද කියා සිටි නිශ්ශංක සේනාධිපති ඒ සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ලෙකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගෙන් විමසා සිටි බවත් “ඔවුන් සියලු දෙනා රණවිරුවන්. රට වෙනුවෙන් සේවය කළ අයයි. ඔවුන්ගේ පාට පක්ෂය බලන්න එපා රැකියා ලබා දෙන්න දේශපාලනයක් අවශ්‍ය නැහැ” යැයි ඔහු තමන්ට දැනුම් දුන් බවත් සේනාධිපති දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දීමෙන් අනතුරුව ඊයේ (08) මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කරද්දී ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර 2014. 01. 06 වැනිදා ලිපියක් යොමු කරමින් රැකියා අවස්ථාවක් ඉල්ලා සිටි බවත් එම අවස්ථාවක් ලබා දුන් බවත් කියා සිටි සේනාධිපති මහතා පරාජිත රාජිත සේනාරත්න ලිපි දෙකක් යොමු කර ඇති බවත් ලිපි ඉදිරිපත් කරමින් කියා සිටියේය.

රටේ මහජනතාව මේවා දැනගත යුතුයි. අපි නීති විරෝධී කියලා 2015 සිට 2019 වෙනකම් කිව්වේ පරාජිත රාජිත සේනාරත්න 2014 බඳවා ගන්න ඉල්ලන්නේ. රාජිත සේනාරත්නට එදා නැව් 08ක් තිබුණා. අපෙන් ආරක්ෂකයන් 9ක් අරන් තිබුණා. එදා නීති විරෝධී නැහැ. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 2015. 03. 01 නැව අත්අඩංගුවට ගන්න පෙර ලිපියක් යොමු කරනවා නැවට බඳවා ගන්න කියලා. මුළු කැබිනට් එකම අනුමත කරලා නිත්‍යනුකූලයි කියලා තියෙද්දී තමයි මේ අය ලිපි එව්වේ. ඒ අය එවපු සෑම ලිපියක්ම මා ගාව තියෙනවා. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නම් ජරා විදියට කෑගැහුවේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා දේශපාලනයෙන් අතුගාලා දාන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පහර ගැසීමටයි මේ අය මේ තුට්ටු දෙකේ වැඩේ කළේ. මම ළඟ තියෙනවා ඩොලර් මිලියන 1,000ට නයිජීරියානු රජය සමඟ අත්සන් කළ ගිවිසුම්වලට අදාළ සියලුම ලිපි ලේඛන මම ඊළඟ දින කොමිසම හමුවට ඉදිරිපත් කරනවා. මේ මුදල් තමයි රටට අහිමි වුණේ. එදා ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනය බලන්න කිවුවේ නැහැ. සුදුසුකම් තිබෙන සෑම දෙනාටම රැකියා දෙන්න කියලා කිවුවා යැයිද ඒ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කරන අතර, කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමෙන් අනතුරුව සේනාධිපති මහතා මාධ්‍යයට මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස