ඇමැති තනතුරු පිළිබඳ නොතකා විමල්ලා ගත් තීන්දුවට ජනතා ප්‍රණාමය හිමිවෙනවා…! – ගෙවිඳු….

August 26, 2021 at 9:51 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග සමඟ සිදුකළ සාකච්ඡාවක් පහත දැක්වෙයි.

බොහෝ පාර්ශ්ව ඉල්ලා සිටියත් නොවැසූ රට ඔබතුමා ඇතුළු ආණ්ඩු පක්ෂයේ ම පක්ෂ නායකයින් 10 දෙනෙක් ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටි පසු වහල දානවා. ඊට පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම ලිපිය යොමු කළ කැබිනට් ඇමැතිවරු වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල මැතිතුමන්ලාට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බව යෝජනා කරනවා. මේකට හේතුව කුමක් ද?

මේ අපේ රට තීරණාත්මක අභියෝගයකට මුහුණ දෙන අවස්ථාවක්. මේ වෙලාව ආණ්ඩුව තුළ හෝ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ලෙස හෝ ආණ්ඩුව සහ වෘත්තීය සමිති විදිහට හෝ වාද විවාද කළ යුතු අවස්ථාවක් නෙමෙයි, මේක. අපේ රටේ ජනතාව කොවිඩ් උවදුරින් ගලවා ගැනීමට සියලු වාදභේද පසෙක ලා අප සියලු දෙනා එක්සේසත් විය යුතු අවස්ථාක් මේක.

ඒ වගේ ම අපේ ඉල්ලීමට සවන් දෙමින් රට වසා දැමීම පිළිබඳ අපි ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. එම ලිපිය මගින් මේ භයානක උවදුරින් අපේ මාතෘභූමිය ගලවා ගැනීම සඳහා සත් වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළා. එම යෝජනාවලිය ක්‍රියාවට නඟන්න අවශ්‍ය කාලය ලබා ගැනීමට තමයි, සීමිත කාලයකට රට වහන්න කියන යෝජනාව කළේ.

අපි එහි දී මුලින් ම යෝජනා කළේ අවුරුදු 60ට වැඩි පිරිස, නිදන්ගත රෝගවලින් පෙළෙන පිරිස සහ මෙතෙක් දෙවන එන්නත ලබා නොගත් පිරිසට එන්නත ලබා දෙමින් විධිමත් වේගවත් එන්නත්කරණ ක්‍රියාවලියක්. එහි දී අපි යෝජනා කළා මෙතෙක් එන්නත්කරණය සඳහා භාවිත නොකරන රෝහල් ඒ සඳහා යොදා ගැනීමට වගේ ම අවශ්‍ය නම් වෛද්‍ය සිසුන් ඒ සඳහා සම්පත්දායකයින් ලෙස සම්බන්ධ කරගැනීමටත්.

ඒ වගේ ම කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම ඔස්සේ එකිනෙකා අතර රෝගය බෝ නොවන බවට තහවුරුවක් නෑ. එන්නත ඔස්සේ සිදුවන්නේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමක් නම් අපි වසර දහස් ගණනක් තිස්සේ දේශීය වෙදකම තුළ භාවිත කළ දැනුම සහ ඖෂධ ඒ සඳහා භාවිතයේ වැදගත්කමත් ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළා. ඒ සඳහා ඒකාබද්ධ වැඩසටහන වැදගත්කමත් අපි පෙන්වා දුන්නා. මේ රටේ පවුල් ලක්ෂ 25කට රු. 1000 බැගින් වටිනා දේශීය ප්‍රතිශක්තිකරණ ඖෂධ කට්ටලයක් ලබා දීමට ආයුර්වේද කොමසාරිස්තුමා වෙත නියෝග කරමින් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම පිළිබඳ අපි ජනාධිපතිතුමාට ප්‍රණාමය පුද කරනවා.

මේ වන විට ඇතැම් රෝහල්වල රෝගීන් පිරිසිදු කිරීම, රෝහල් වාට්ටු පිරිසිදු කිරීම පවා මේ වන විට අභියෝගයට ලක්වෙලා. මේ නිසා රෝහල් පද්ධතිය බිඳ වැටීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ නිසා රෝහල් පද්ධතියේ කාර්යමණ්ඩලයට උපකාර කළ හැකි ආකාරයේ ජනතා කමිටු පිහිටුවීමට අපි යෝජනා කළා. මේ වන විටත් රටේ ප්‍රධාන රෝහල්වලට පොලිස් අධිකාරීවරුන් පත්කිරීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබෙනවා. ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ජනතා නියෝජිතයින්, ආගමික නායකයින් ඇතුළත් මෙම ස්වේච්ඡා සේවක පිරිස ක්‍රියාත්මක කිරීම අවශ්‍යයයි කියලා අපි හිතනවා.

ඒ වගේ ම ආර්ථිකය ද සෞඛ්‍යය ද එහෙම නැත්නම් රජය ද විපක්ෂය ද කියන විවාදවලට නොගොස් මේ රටේ අනාගතය වෙනුවෙන් ආණ්ඩුවේ පමණක් නෙවෙයි, විපක්ෂයේ හඬත් නියෝජනය වන පරිදි සංවාද මණ්ඩපයක් ගොඩනැඟිමට පෙරමුණ ගන්නා ලෙස අපි ජනාධිපතිතුමාට යෝජනා කරනවා. අප දකින ආකාරයට නම් අපේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමා බොහෝ තීන්දු තීරණ අරගෙන තිබෙනවා. ඒ සඳහා තව දුරටත් ස්වේඡාවෙන් මැදිහත්වෙමින් දායකත්වය ලබා දීමට අපි ඉතා ම කැමැත්තෙන් ඉන්නවා.

නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මැතිතුමා මාධ්‍ය හමුවක් කැඳවමින් කියනවා කැබිනට් තීන්දුවට එරෙහිව ගිය විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ඇමැතිතුමන්ලාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි කියල?

අපි මේ වෙලාවේ රට සහ ජනතාව ප්‍රමුඛත්වයෙහි තබාගෙන කටයුතු කළ යුතුයි. මේ ආණ්ඩු පක්ෂය තුළ දේශපාලන ගැටුම් හදාගන්න අවස්ථාවක් නෙමෙයි. පක්ෂ විපක්ෂ මතවාද ඉක්මවා ගොස් රට වෙනුවෙන් එකතු විය යුතු මොහොතක් මේක. තමන්ගේ තනතුරු පිළිබඳ නොතකා ඒ ඇමැතිතුමන්ලා ගත් තීන්දුව පිළිබඳ මේ රටේ ජනතාව කෘතඥ වෙයි, කියලා අපි විශ්වාස කරනවා.

කැබිනට් හමුවේ දී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ඇමැතිතුමන්ලාට ජනාධිපතිතුමා දෝෂාරෝපණය කළ බවට පළවන වාර්තා ඇත්ත ද?

අපි නම් ඒක විශ්වාස කරන්නේ නෑ. ජනාධිපතිතුමා ලබා ඇති හමුදා විනයත් එක්ක සිදුකරන ඇතැම් අදහස් දැක්වීම් නිසා සමහරු එහෙම හිතන්න පුළුවන්. නමුත් අපට වැදගත් ජනාධිපතිතුමා රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගන්නවා ද කියන කාරණය විතරයි. අපි ඉදිරිපත් කළ වැදගත් යෝජනා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා සාධනීය ලෙස මැදිහත් වෙමින් ඉන්නවා. මේ ව්‍යසනයෙන් අපේ ජනතාව මුදාගත් නායකයා ලෙස ඉතිහාසගත වන්නට ජනාධිපතිතුමාට හැකියාව ලැබේය යන විශ්වාසය අපට තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ඕනෑ ම උපකාරයක් කිරීමට අපි සැදී පැහැදී ඉන්නවා.

ඔබතුමන්ලා යෝජනා කළේ සති දෙකකට රට වසා දැමීමකට ද?

අපේ ඉල්ලීම තිබුණේ සති තුනකට රට වසා දමන්න. අපේ යෝජනාවලිය ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න පෙර සෞඛ්‍ය විශේෂඥයින් සමඟ සිදුකළ සාකච්ඡාවල දී ප්‍රකාශ වුණේ සති දෙකකට වැසීම ප්‍රමාණවත්, නමුත් සති තුනකට වහනවා නම් වඩාත් හොඳයි කියලා. ඉතින් අපේ පළමු ඉලක්කය විය යුත්තේ මේ නිරෝධායන දින දහයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම. නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දිගු කළ යුතු ද යන්න පිළිබඳ ඉදිරියේ දී සමාලෝචනයක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

රට වහන යෝජනාවට අත්සන් කළේ ආණ්ඩුවේ ඉන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෝ කියලා, ගාමිණී ලොකුගේ ඇමැතිතුමා ප්‍රකාශ කරනවා. ඔබතුමාත් ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෙක් ද?

මම කලිනුත් කීවා වගේ, මේ ඒ වගේ දේවල් අල්ල ගෙන වාදවිවාදවල පැටලෙන්න අවස්ථාව නෙමෙයි මේක. ඒ ප්‍රකාශ පිළිබඳ අපට ගැටලුවක් නෑ. මේ අවස්ථාවේ රටේ ජනතාව වෙනුවෙන් කළ යුතු දේ ගැන මතවාදය පෝෂණය කරන්න අපි මැදිහත් වෙනවා. ජනතාව විදිහටත් ජනතා නියෝජිතයින් විදිහටත් සියලු දෙනා ඒ සඳහා එකතු විය යුතු බව අපි විශ්වාස කරනවා.

මෙවැනි ප්‍රකාශ පිළිබඳ ඔබතුමාට කලකිරීමක්වත් නැද්ද?

මේක කිසිවක් ගැන උදම් ඇනීමට හෝ කලකිරීමට අවස්ථාව නෙමෙයි. පොඩි පොඩි වෙනස්කම් පදනම් කරගෙන ගැටුම් නිර්මාණය කරගන්න අවස්ථාව නෙමෙයි. මාධ්‍යවලත් වගකීම මේ අවස්ථාවේ බෙදීම් ඉස්මතු කිරීම වෙනුවට මේ භයානක වසංගතය පරාජය කිරීම සඳහා සියලු දෙනා එක්සේසත් කිරීමට පෙරමුණ ගැනීම බවත් අපි සිහිපත් කරන්න කැමතියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස