ඇමති පුතා පල්ලි යන්නෙත් නෑ! අනතුර ජනතාවට කියන්නෙත් නෑ! මේ විනාශය වළක්වා ගන්න තිබුණා! – අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා

April 22, 2019 at 6:29 pm | by admin

අහිංසක ජනතාව සියගණනක් මියගිය මිලේච්ඡ ප‍්‍රහාරය පිළිබඳව රජයේ අමාත්‍යවරු දැන සිට ඇති බව පෙනී යන බවත් එසේ තිබියදීත් ජනතාව දැනුම්වත් නොකිරීම බරපතළ වරදක් බවත් සර්ව ආගමික සමුළුවේ සම සභාපතිවරු කියති.

මාධ්‍ය හමුව ඇමතූ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා මෙසේ පැවැසීය.

“ඇමතිගෙ තාත්තා කියනවා පුතාට පල්ලියට යන්න එපා කියල. ඇමති පුතා පල්ලි යන්නේ නැහැ. ඒත් කාරණාව රටට කියන්නේත් නැහැ. ඇයි ඒ බව රටට නොකිව්වේ. රටටත් කිව්වා නම් මේ ජීවිත රැක ගන්න තිබුණා. මේක වළක්වන්න පුළුවන් කියල දැනගත්තාම අපි ඔළුවේ අතගහ ගත්තා.”

“හරියට අකුණක් ගහනව වගේ සිද්ධියක් වුණේ. අවුරුදු දහයකට කලින් මේ වගේ දේවල් වුණා. විවිධ ස්ථානවලට පහර දුන්නා. විවිධ ආගම්වල පූජනීය ස්ථානවලට පහර දුන්නා.”

ජන ජීවිතවලට හානි සිදුකෙරෙන අන්දමේ මිලේච්ඡ ප‍්‍රහාර මෙන්ම ආගමික සමගිය බිඳදැමෙන අන්දමේ මෙවැනි සිද්ධීන් රට තුළ සිදුවීම වැළැක්වීමට රජය වහා පියවර ගත යුතු යැයි ද වැරදිකරුවන් සොයා දඬුවම් දීම රජයේ වගකීම යැයි ද සර්ව ආගමික සමුළුවේ සම සභාපතිවරු කීහ.

සිද්ධීන් සම්බන්ධයෙන් කිසිවෙකුටත් අත නොතබන්නැයි තරයේ ඉල්ලා සිටින බව කී උන්වහන්සේලා සාමකාමීව අවමඟුල් පවත්වන්නැයි ශෝකයට පත් ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

බුද්ධි අංශ දුර්වල වන්නට ඉඩ නොදෙන්නැයි රජයෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බවද එම අංශ තව දුරටත් ශක්තිමත් කළ යුතු බව ද සර්ව ආගමික සමුළු නායකයෝ තවදුරටත් ප‍්‍රකාශ කළහ.

බෞද්ධ හින්දු කතෝලික හා ඉස්ලාම් ආගමික නායකයන් ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුව ඇමතූ ඉත්තැපාන ධම්මාලංකාර නාහිමියෝ මෙසේ ද පැවැසූහ.

“අම්ම තාත්ත නැතිවුණ අවුරුදු තුනක දරුවෙක් මව්පියන් සොයා අඬා අඬා ඇවිදින හැටි ඊයේ අපි දුටුවා. මේ වගේ මව්පියන්ට දරුවන් අහිමි කළ, දරුවන්ට මව්පියන් අහිමි කළ, සහෝදර සහෝදරියන් අහිමි කළ ප‍්‍රහාරයක් මෑත කාලෙක සිද්ධ වෙලා නැහැ”

සර්ව ආගමික සමුළුවේ සම සභාපතිවරුන් ලෙස ඉත්තැපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණ ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක හිමිපාණන් වහන්සේ, මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමෝ කටයුතු කරති. බොරැල්ල අගරදගුරු නිල නිවසේ අද (22) මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස