ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් කළේ විමල් වාසු උදය ත්‍රිත්වයයි….! – ආචාර්ය නලිනන් ද සිල්වා..

July 30, 2022 at 6:18 pm | by emanisa.lk

පරගලය පරයන්ගේ අරගලයක්. එනම් විජාතිකයන්ගේ අරගලයක්. මෙය බටහිරයන් හා ඉන්දියාව රාජපක්‍ෂලා ඉවත් කිරීම සඳහා පමණක් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද්දක් නොවෙයි. එමගින් ඔවුන් 1505 (1506) දී සිට කෙරීගෙන යන සිංහල බුද්ධාගමට, සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂ තැන නැති කිරීම ඉටු කර ගැනීමට ද බලාපොරොත්තු වුණා. එය යම් ප්‍රමාණයකට සාර්ථක වෙලා. ඒ රාජපක්‍ෂලා නිලතලවලින් ඉවත් කිරීමෙන්. රාජපක්‍ෂලා සිංහල බෞද්ධ ජාතිකවාදීන් නො වෙයි. අර කියන විධියට සිංහල බෞද්ධකමක් ඇඟේ තිබුණේ ගෝඨාභය රාජපක්‍ෂගේ පමණයි. මෙරට සිංහල බෞද්ධකම ඇඟේ තිබුණු අනෙක් රාජ්‍ය නායකයා (නායිකාව) බණ්ඩාරනායක මහත්මියයි.

ඒ කුමක් වුවත් රාජපක්‍ෂලා සිංහල බෞද්ධ ජාතිකත්වය නියෝජනය කළා. බටහිරයන්ට (බටහිර රටවලට) හා ඉන්දියාවට රාජපක්‍ෂලා ඉවත් කිරීමට අවශ්‍ය වූයේ එබැවිනුයි. විශේෂයෙන් ම නන්දිකඩාල් පරාජයේ පළිය ගන්නයි. රාජපක්‍ෂලා ඉවත්වීමත් සමග ඕමල්පේ සෝභිත හාමුදුරුවන් කියා සිටියේ සිංහල බෞද්ධ බලවේගය අවසන් කියා. උන්වහන්සේ එයින් කුමක් අදහස් කළත් කියැවුණේ එයයි. උන්වහන්සේ සමහර විට ප්‍රකාශ කරන්න අදහස් කෙළේ රාජපක්‍ෂලා මගින් සිංහල බෞද්ධ ජාතිකත්වය නියෝජනය කිරීම අවසන් වී ය යන්න වෙන්න පුළුවන්.

අප හොඳට ම දන්නවා චම්පක රණවක වැන්නන් නම් කිසි දිනෙක සිංහල බෞද්ධ ජාතිකත්වය නියෝජනය නොකළ බව. ජ වි පෙ සම්භවයක් ඇති අයගෙන් ඇතැමෙක් සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින බව ඇඟෙවුවා. ජ වි පෙරමුණ ද ඉන්දු ලංකා ගිවිසුම සමයේ එසේ රඟපෑමක් කළා. ගුණදාස අමරසේකර ගණඳුරු මැදියම අරුණළු දැක්කේ එබැවින්. එහෙත් එය අර කවුදෝ කීවාක් මෙන් ඇක්ෂන් හා කට් අතර කොටසක් පමණයි.

මෙතන දී මට තව කතාවක් මතක් වෙනවා. දින කිහිපයකට පෙර වසන්ත මුදලිගේ රත්මලානේ බොරුපන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ජාතික රූපවාහිනිය ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් කියා හිටියා. ඒ අර අලි අල්ලා ගැනීමෙන් පසු දින ද කොහේ ද. මුදලිගේ ත්‍රිරෝද රියක ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගන්නා රූප රාමු ප්‍රදර්ශනය වුණා. අලි මෙන් ම මුදලිගේ ද අලි කතා (එලිෆන්ට් ටෝක්) එක වැළට දුන්නා. එහෙත් දැන් කියනවා මුදලිගේ එළියේ කියාත් ඔහු සොයා පොලීසිය සෙප්පන්ගේ කාර්යාලයට ගිය බවත්. එතකොට අර බොරුපන කතාව බොරුවක් ද? එය ඊනියා ජාත්‍යන්තරය සඳහා ද? තව තවත් මුදල් ලබා ගැනීම සඳහා ද? නැත්නම් එය ජාතික රුපවාහිනියේ ටෙලි නාට්‍යයක පූර්ව ප්‍රචාරයක් ද? එහි ඇක්ෂන් කට් කීවේ කවු ද?

විජාතිකයන්ට පරගලය අධ්‍යක්‍ෂණය කිරීමට අවස්ථාව ලැබුණේ ආර්ථික අර්බුදය නිසාත් විමල් වාසු උදය ත්‍රිත්වය එය දේශපාලන අර්බුදයක් බවට පත් කළ නිසාත්. ආර්ථික අර්බුදයට හේතුව රාජපක්‍ෂලා හොරකම් කිරීම කියන කතාව සිංහලයන්ට ඒත්තු ගැන්වීමට අධ්‍යක්‍ෂකයන් සමත් වුණා. පහතින් ඇති කවුද හොරා ලිපිය අනුව එය එසේ නොවන බව පැහැදිලි විය යුතුයි. ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව අපි අපිමයි. අපි වෙනුවෙන් අපි හොරා කෑමයි. ණයට කෑමයි. ආදායමට වඩා වියදම් කිරීමයි. මධ්‍යම පංතිය ඔරොත්තු නොදෙන ජීවන රටාවක් පවත්වවාගෙන යන යෑමයි. රථයක් මිල දී ගැනීම හා රථය වසර කිහිපයකට වරක් මාරු කිරීම, ලොකු ගෙයක් හැදීම, ළමයින්ට අනුකාරක අධ්‍යාපනයක් ලබා දීමට උපකාරක පංති ගෙන යෑම අද අපේ තුන්සිල් බවට පත් වී තියෙනවා. අප විසඳුම් සෙවිය යුත්තේ තුන්සිල්වලින් ගැලවීම සඳහායි. තෙල් අර්බුදය තුන්සිල් රැකීමේ ප්‍රතිඵලයක් පමණයි.

මා සඳහන් කළා සිංහල බෞද්ධ ජාතිකත්වය ඇඟේ තිබූ දෙදෙනකු ගැන. බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ පාසල් රජයට පවරා ගත්තා. අර තෙල් සමාගම්, ෂෙල් කැල්ටෙක්ස් ආදී, ජනසතු කළා. එකල ඇය ගෙදර යැවීමට හමුදා කුමන්ත්‍රණයක් කළා. ඇගේ සමයේ කතෝලික පූජකවරු කන්‍යා සොහොයුරියන් ඇයට විරුද්ධ ව පෙරමුණ ගත්තා. ඉන් පසුව කතෝලික පූජකවරුන් කන්‍යා සොහොයුරියන් ඊනියා අරගලයක පෙරමුණ ගත්තේ අවුරුදු හැටකට පසුව ගෝඨාභය ගෙදර යැවීමටයි. මේවා අහඹූ සිද්ධි නොවන බව ඕමල්පේ සෝභිත හිමියන්ට වුණත් වැටහෙන්න ඕන. මෙවර නම් ගෝඨාභය ගෙදර යැවීමට මුස්ලිම් පිරිසකුත් එකතු වුණා. කවුද හොරා ලිපියේ අපනයනවලින් 40%කට වඩා මුදල් ප්‍රමාණයක් ලංකාවට නොඑන බව සඳහන් වී ඇති. එයට වග කියන්න ඕන කවුද?

අද පරගලකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ ව බටහිරයන් සුදු බණ (මා වැදි බණ කියන්නේ නැහැ) කියනවා. බයිල කියනවා. ඊනියා මිනිස් අයිතිවාසිකම් ගැන කියනවා. බටහිරයන් 1987-90 කාලයේ ජෙප්පන් අත්අඩංගුවට ගැනීම ගැන ක්‍රියා කෙළේ කොහොම ද? ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය ක්‍රියා කෙළේ කොහොම ද? ඒ පිළිබඳ මගේ අත්දැකීම් කලින් ලියා ඇති. බටහිරයන්ට උද්ඝෝෂණයේ භාෂණයේ නිදහස ආදිය අවශ්‍ය වන්නේ තමන් වෙනුවෙන් කරන අරගල, එනම් පරගල සඳහා පමණයි. හැට දෙකේ කුමන්ත්‍රණ කරුවන් නිදහස් කෙරුණේ එක්සත් රාජධානියේ සාමි මන්ත්‍රණ අධිකරණයෙන් ( නිල වශයෙන් මහා රැජනගේ ප්‍රිවි කවුන්සල විනිසුරුවන්ගෙන්) ඊනියා තාක්‍ෂණික කරුණක් උඩ. ඒ විත්තිකරුවන් සියල්ලන් ම මෙන් මට මතක හැටියට අබෞද්ධයන්.

දෙමළ ජාතිවාදීන් වෙනුවෙන් පෙනී හිටියේ කවුද? අපේ හමුදාවලට දෙමළ ත්‍රස්තවාදය කිසි දා පරාජය කිරීමට නොහැකි යැයි කිවුවේ කවුද? ඊනියා සාම සාකච්ඡා පිටුපස සිටියේ කවුද? විකල්ප කේන්දර කාරයන්ට හා සිවල් සංවිධානවලට මුදල් එවුවේ කවු ද? අද පරගලයට මුදල් එවන්නේ කවුද? පැතුම් කර්නර් කාගේ කවුද? බටහිර වෙද මහතකු වූ ඔහු එංගලන්තයේ දී කුමක් කෙළේ ද? බටහිර වෙද නෝනා කෙනකු වූ ඔහුගේ බිරිය නම් පශ්චාත් උපාධියක් සඳහා කටයුතු කරන බව සැළයි.

ඔය පරගලය හුදෙක් ගෝඨාභය හා අනෙක් රාජපක්‍ෂලා ගෙදර යැවීමට නො වෙයි. 1505 සිට බටහිරයන් පොදුවේත් 1798 සිට ඉංගිරිසිනුත් ක්‍රියා කර ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය නගා සිටුවීමට නො වෙයි. මෙරට පාසල් ඇති කෙළේ කුමක් සඳහා ද? ලන්දේසීන් තම පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ දී ඔවුන් බෞතීස්ම කර ක්‍රිස්තියානි නමකුත් දුන්නා. අපේ ආච්චිලාගේ කාලයේත් ළමුන්ට ගෙදරට නමක් හා පාසලට නමක් යනුවෙන් නම් දෙකක් තිබුණා. එංගලන්තයෙන් පැමිණි මිෂනාරීන් මෙතෝදිස්ත හා පසුව ඇංග්ලිකන් පාසල් ඇති කෙළේ සිංහල බෞද්ධ සංස්කෘතියට නව ජීවයක් ලබා දීමට නො වෙයි.
ඕල්කට්තුමාත් ඇති කෙළේ එවැනි ම පාසල්. ආනන්ද විදුහලේ පළමු විදුහල්පති ලෙඩ්බීටර් ක්‍රිස්තියානි. ඔහු පසුව ඕස්ත්‍රේලියාවේ දී පූජකවරයකු වුණා. මට මිතුරකු පැවසු පරිදි 1814 දී රිච්මන්ඩ් විදුහල ගාල්ලේ පිහිටුවන විටත් මහනුවර සිංහල බෞද්ධ රාජ්‍යය තිබුණා!

පරගලයට අවශ්‍ය වුණෙ රාජපක්‍ෂලා ගෙදර යවා ඔවුන්ට ගැති අයකු ජනාධිපති කරන්න. අරගලය ඉන් පසු අවසන් කරන්න. එහෙත් එය එසේ සිදු වූයේ නැහැ. අරගලය නම් අවසන් කෙරුණා. ඒ ගැන පසුවට. සිංහල බෞද්ධ ජාතිකත්වය නැති කරන්න බැරි බව පමණක් දැනට සඳහන් කරනවා. ආමෙන්!

ආචාර්ය නලින් ද සිල්වා

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස