ආර්ථික අපරාධ ප්‍රකාශය බලය ඉක්මවා කටයුතු කිරීමක්..! -ජිනීවා ප්‍රකාශට සබ්‍රි එරෙහි වෙයි..

September 17, 2022 at 4:05 pm | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ පිළිබඳව කර ඇති පුළුල් සඳහන, එම පදයේ පවතින බහු අරුත්බව හැරුණු විට, එය මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වරම ඉක්මවා යන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසයි.

මේ සම්බන්ධයෙන්, කවුන්සිලයේ ආරම්භක මූලධර්ම පිළිපැදීමේ ඇති වැදගත්කම පිළිබඳව සිහිපත් කළ අමාත්‍යවරයා, රටේ දීර්ඝ කාලීන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ සම්මතයන් ආරක්ෂා කිරීම සඳහා රජය අඛණ්ඩව කැප වී සිටින බවට මෑත කාලීනව රට තුළ සිදු වී ඇති කැපී පෙනෙන වෙනස්කම් සාක්ෂි දරන බව ද සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති පරිදි සාමකාමීව රැස්වීමේ සහ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් තහවුරු කර ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.

වත්මන් අභියෝග පිළිගන්නා අතරම, ජනතාවගේ මානව හිමිකම් ප්‍රගමනයට සමාන ප්‍රමුඛතාවක් ලබා දෙමින් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ප්‍රකෘතිමත් වීමේ මාවතේ ගමන් කරන විට, ඒ සඳහා කවුන්සිලයේ සහය සහ අවබෝධය ලබා ගැනීම බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවසීය.

හෙතෙම මේ බැව් පැවසූවේ ජීනීවා මානව හිමිකම් කොමිසමේ සැසියට සහභාගී වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *