බංකොලොත් ආර්ථිකය යථා තත්ත්වයට පත් නොකොට පළාත් පාලන මැතිවරණය තැබුවේ නම් සිදුවන්නේ කුමක් දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විමසයි.
ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රශ්න කළේ, පළාත් පාලන මැතිවරණය සඳහා මාස දෙකහමාරක පමණ කාලයක් අවශ්‍ය බවත් ආර්ථික අර්බුදයක් මැද මැතිවරණය පැවැත්වූයේ නම් රට ගෙන යන්නේ කෙසේ ද යන්නයි.
එදා තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, බෙහෙත් පෝලිම් පැවැති බවත් කිසිදු රටකට නොහැකි වුව ද තමන් වසර දෙකකින් රට යථා තත්ත්වයට ගෙන ආ බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම ගැන ජනතාව ප්‍රශංසා කරන බවත් එසේ නොකළේ නම් රට කඩා වැටෙන බවත් ප්‍රකාශ කළ හෙතෙම, මැතිවරණය කල් දැමීම පිළිබඳ කිසිදු කනගාටුවක් නොමැති බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරණය මෙන් ම මහා මැතිවරණය ද ජනතාවගේ මූලික අයිතියක් බවත් එම අයිතියට මෙන්ම ජනතාවගේ ජීවත් වීමේ අයිතියට ද තමන් ගරු කළ බවයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ.
සුගීශ්වර බණ්ඩාර නායකත්වය දරන නව ජනතා පෙරමුණේ ජාතික මහා සභාවට අද (22) කොළඹ දී එකතු වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.