ආයෝජකයන් අතර විශ්වාසය තහවුරුයි! කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික වර්ධනයක්!

May 22, 2020 at 3:14 pm | by emanisa.lk

කොළඹ කොටස් වෙළෙඳපොළේ ‘S & P ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය ඊයේ (21) දිනය අවසානයේදී ඒකක 1094.14ක් ලෙස ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 132.90කින් හෙවත් 6.28%ක වර්ධනයකි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ‘S & P ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය මැයි 18 වැනිදා 5.25%කින් ඉහළ ගිය අතර ඒ අනුව සතියක් ඇතුළත මෙලෙස ඉහළ ගිය දෙවන අවස්ථාව මෙය වෙයි.

මාස එකහාමාරකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික කටයුතු සඳහා විවෘත කරන ලද්දේ මැයි 11 වැනිදාය. එදිනත් ඊට පසු දිනත් කොළඹ කොටස් වෙළෙඳපොළ පහත වැටිණි. ඉන් අනතුරුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය.

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනය අවසානයේදී ඒකක 4,784.80ක් ලෙස දැක්වුණු අතර එය ඒකක 129.58ක එනම් 2.78%ක වර්ධනයකි. මාර්තු 13 වැනිදාට පසු එම දර්ශක දෙක වාර්තා කළ ඉහළම අගයන් එය විය.

කොළඹ කොටස් වෙළෙඳපොළ පසුගිය දින නවයක කාලයේදී වාර්තාගත ඉහළ පිරිවැටුමක ද ඊයේ වාර්තා කළ අතර එහි දෛනික සාමාන්‍ය රුපියල් බිලියන 1.73ක් විය. එය පසුගිය වසරේ (2019) මෙම දිනයට දැක්වුණු දෛනික සාමාන්‍ය පිරිවැටුම හා සැසඳීමේදී සියයට 45ක වර්ධනයකි.

එහිදී සාමාන්‍ය අගය රුපියල් බිලියන 1.19කි. ඒ අනුව මැයි 11 වැනිදා වෙළෙඳපොළෙ විවෘත කිරීමෙන් පසු වෙළෙඳ කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ද කොළඹ කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, එල්.ඕ.එල්.සී., එච්.එන්.බී. හා සම්පත් බැංකුව යන සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යාම දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා ඉහළ දායකත්වයක් ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස