ආමිකාරයෝ දාලා බඩු මිල බස්සන්න බෑ…! සීනි මිල ඉහළ ගියේ තොග හැංගූ නිසා නෙමෙයි…. ඩොලර් හිඟ නිසයි…! – හර්ෂ….

September 2, 2021 at 7:35 am | by emanisa.lk

හමුදා නිලධාරියෙක් පත් කිරීමෙන් පවතින ආර්ථික ප‍්‍රශ්න විසඳිය නොහැකි බවත්, එම ප‍්‍රශ්නය විසඳිය හැකි වැඩපිළිවෙළ ඇත්තේ වෙළෙඳපොළ තුළ බවත්, සමගි ජනබලවේගයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (31) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

“රජයේ වියදම් අඩු කරන ලෙසට කැබිනට් පත‍්‍රිකාවක් ඇතුළත් කර තිබෙන බව අපි පුවත්පත්වලින් දැක්කා. එහි අමතර දීමනා අවම කරන්න ආරම්භ නොකර තිබෙන සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවන්න යන වශයෙන් එහි සඳහන් වෙනවා. පසුගිය කාලයේ අපි විවිධ පෝලිම් දැක්කා. එහි ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, ඉන්ධන පෝලිම් තිබුණා. ආනන්ද පාලිත මහතා අත්අඩංගුවට ගත්තත් නැතත් හෙට අනිද්දා ඉන්ධන පෝලිම් ඇති වෙනවා.

ඒ අතරේ ජනාධිපතිතුමා විසින් ගැසට් එකක් නිකුත් කරලා. අත්‍යවශ්‍ය ආහාර සැපයීම් සඳහා වන හදිසි නීති රෙගුලාසි ශ‍්‍රී ලංකාව මුළුල්ලේම 2021 අගෝස්තු මස 30 වැනි දින සිට ක‍්‍රියාත්මක විය යුතු යැයි මෙම ප‍්‍රකාශයෙන් ප‍්‍රකාශ කරමි කියලා ජනාධිපතිතුමා අත්සන් කර තිබෙනවා.

ඒ කියන්නේ හදිසි නීතිය යටතේ රෙගුලාසි පනවා තිබෙනවා. එය ආහාර සැපයීම සඳහා වී, සහල්, සීනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා. අපි දන්නවා ශත විසිපහට බද්ද අඩු කරලා සීනි ගෙනැල්ලා ඒ සම්බන්ධයෙන් රජයට වෙච්ච පාඩුව. රුපියල් බිලියන 15 ක් කියලා මුදල් අමාත්‍යාංශයෙන්ම දැනුම් දීලා තියෙන අවස්ථාවේ සතොසට ඒ රුපියල් අසූගාණට විකුණනවා වෙනුවට දෙසීය ගාණට විකුණලා සතොසට පාඩු කරමින් සමහරු ලබාගත්ත අධික ලාභයක් පිළිබඳව වෝහාරික විගණනයක් කරන්න කියලා අපි දිගින් දිගටම රජයට කිව්වා. නමුත් රජය කිසිම ක‍්‍රියාමාර්ගයක් ගෙන නැහැ. අපිට ආරංචි වෙන විදියට විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් එය සිද්ධ වෙන බව දැනගන්න ලැබෙනවා.

ඒ කොහොම වුණත් අද වන විට ශත 25 බද්දට ගේන සීනි කිලෝ එක 230, 240, 250 ට විකිණුවාට සතොසෙන් දෙනවා 130 ට කියන්නේ සලාක ක‍්‍රමයට. අපිට මතකයි එදා හාල්පොත තිබුණේ කොහොමද කියලා. එහිදී සමහරු කලින් ඉඳන්ම කිව්වා විකල්ප ආර්ථික මොඩලය හරහා රට නැවත 1977 කාලයට පත්වෙන වෙන බව.

විශාල බදු සහන 2019 දෙසැම්බර් වන විට ලබා දුන්නා. එහි දී හොරු කණ්ඩායමකට මහා විශාල ලාභ ලබන්න බදු ගෙවන්න තියෙන ප‍්‍රමාණය අතිශයින් අඩු කරලා ඔවුන්ගේ සුඛ විහරණයට අවස්ථාව ලබා දුන්න බව අපි දකිනවා. මේ ආයතනවල ලාභ රුපියල් බිලියන ගණන්වලින් ඉහළ යනවා. දැන් ලීසින් එක ගෙවා ගන්න ණය වාරිකය ගෙවා ගන්න බැරුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා ඉතාමත්ම අමාරු තැනකට තල්ලූ වෙලා. එහි දී බැංකුවල ලාභය 2020 මුළු අවුරුද්දටම 2019 ටත් වඩා ඉහළ ගිහින් තිබෙනවා.

අපි දකිනවා අද පත්තරේ තිබෙනවා කෝවිඩ් නිසා මියගිය 85% ක්ම නිදන්ගත රෝගී වූ අය බව. ඒ කියන්නේ රෝගියා මැරෙන්නෙ කොරෝනා වසංගතයට වඩා කලින් තිබුණු නිදන්ගත රෝග නිසා. එහිදී ලංකාවේ ආර්ථික ප‍්‍රශ්නයත් ඒකයි. ආර්ථිකය කඩා වැටෙන්නෙත් නිදන්ගත රෝග නිසා. එක පැත්තකින් කාලයක් තිස්සේ තිබුණු රාජ්‍ය මූල්‍ය අර්බුදය, ආදායමට වඩා වියදම වැඩිවීම. ඒ වගේම ණය කන්ද. ඒ වගේම ආනයනවලට සාපේක්ෂ ලෙස අපනයන මදිකමක්. එහිදී එක පැත්තකින් නිදන්ගත රෝගය රාජ්‍ය මූල්‍ය ප‍්‍රශ්නය. අනිත් රෝගය තමයි ගෙවුම් ශේෂ ප‍්‍රශ්නය. එතකොට කෝවිඞ් වසංගතය හරහා යම් කිසි විදියට ආර්ථිකයට පහරක් වැදිලා තියෙන එක අපි පිළිගන්නවා. නමුත් ඒ ආර්ථික පහර කළමනාකරණය කරගන්න පුළුවන් විය යුතුයි. මේ අපේ රටට පමණක් තියෙන ප‍්‍රශ්නයක් නෙමෙයි.

අද බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක් දුන්න බව කියනවා. ඒ රටේ මිනිස්සු කොච්චර ජීවත් වෙනවද? හැබැයි බංග්ලාදේශය මූල්‍ය අගය පොඞ්ඩක්වත් අව ප‍්‍රමාණය වෙලා නැහැ. ලංකාවේ අවප‍්‍රමාණ වීම වෙනුවට ඔවුන්ගේ සංචිත ඩොලර් බිලියන හතළිස් ගාණකට වැඩිවෙලා තිබෙනවා. එතකොට එහෙනම් බංග්ලාදේශයටත් අපිට වඩා දරුණු පහරක් කොරෝනාවලින් වැදුණා. ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටුණේ නැහැ.

මේ වන විට හමුදාවේ ප‍්‍රධාන නිලධාරියෙක් නම් කරලා තිබෙනවා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා විදියට. ඊළඟට හදිසි නීතිය දාලා තිබෙනවා. එසේ කරලා ආණ්ඩුව හිතනව නම් පෝලිම් නවත්තන්න පුළුවන් කියලා, සීනී රුපියල් 85 ට දෙන්න පුළුවන් කියලා, පරිප්පු මිල අඩු කරන්න පුළුවන් කියලා, අහස උසට ගිහිල්ලා තිබෙන හාල් මිල අඩු කරන්න පුළුවන් කියලා, මේ හදිසි නීතිය දාලා එය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හදිසි නීතිය දමලා ආර්ථික ප‍්‍රශ්න විසඳන්න බෑ. හමුදා නිලධාරියෙක් පත් කරල මේ ආර්ථික ප‍්‍රශ්නය විසඳන්න බැහැ. තියෙන එකම වැඩපිළිවෙළ තමයි වෙළෙඳපොළ.

ආණ්ඩුව මහ ලොකුවට කෙටි පණිවුඩ යවලා කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණ කියලා ඩොලර් මිලියන 787ක්. ඊට පස්සේ බංගලාදේශයෙන් ඩොලර් මිලියන 150 ක්, චීනයෙන් හම්බ වෙනවා කියලා මිලියන 2000 ක් ඒ කියන්නේ ඩොලර් මිලියන 300 ක් විතර ප‍්‍රමාණයක්. හැබැයි ඔය බංග්ලාදේශයෙන් ලැබෙන ඩොලර් මිලියන 150 ක් අර කලින් ඉන්දියාවෙන් ලැබුණා කිව්වා ඩොලර් 400 වගේ තමයි. කෙටිකාලීන හුවමාරුවක්. මාස 3 ක කාලයකට මාස 3කින් නැවත ගෙවිය යුතුයි. එහෙම නැත්තං එක පාරක් එය තව මාස තුනක් කල් ගන්න පුළුවන්. එතකොට මාස හයට වඩා තියෙනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට එන්න වෙනවා. ඒ වගේම චීනයෙන් ලැබිලා තියෙන්නෙත් යුවාන් මිලියන 2000 ක්.

ඩොලර් නැති නිසා තමයි සීනි මිල ඉහළ යන්නේ. ටික දවසකට පමණක් 130 ගාණේ සතොස හරහා සලාක ක‍්‍රමයට දේවි. එතැනින් එහාට තිරසාර විසඳුමක් නැහැ.

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස