ආබාධිත අයට කොවිඩ් එන්නත නිවසට ම….! ජනපති අණින් රට පුරා ජංගම එන්නත් සේවා…!

July 16, 2021 at 8:20 pm | by emanisa.lk

රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.

රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර තිබේ. එහෙත් රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි පිරිසට එන්නත ලබාදීම ගැටලුවක්ව පවතී. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරු ගෙන, ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් ඇරඹීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

පසුගිය දින කිහිපය තුළ හඳුනාගත් කොවිඩ් රොගීන්ගෙන් හා මරණ සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත ලබාගෙන නොමැති අය බව කොවිඩ් කමිටුව අනාවරණය කළේය. මේ නිසා එන්නත්කරණයේ වැදගත්කම කෙරෙහි දැනුවත් කිරීම හා එන්නත්කරණ වැඩසටහනට ජනතාව යොමු කරවීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *