ආණ්ඩු විරෝධි උද්ඝෝෂකයන් පවුල් පිටින් ත්‍රස්තවාදීන් කරන පනතක් සූදානම්!

March 11, 2019 at 1:39 pm | by admin

ආණ්ඩුව අලුතින් හඳුන්වා දීමට යන ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව සංවිධානය නොවුනහොත් ඉදිරියේදී වෘත්තීය සමිතියක් හෝ සිවිල් සංවිධානයක් ආරම්භ කිරීමට නොහැකි වනු ඇතැයි වෙනසක තාරුණ්‍යය පවසයි.

උද්ඝෝෂණයකට සහභාගී වීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වා අත්අඩංගුවට ගැනීමේ බලය පොලීසිය භාර ඇමතිවරයාට පැවරෙන මෙම පනත මගින් උද්ඝෝෂණයකට සහභාගී වන අයගේ පවුල්වල සාමාජිකයන් ද ත්‍රස්තවාදීන් ලෙස නම්කර තිබෙන බව වෙනසක තාරුණ්‍යය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ළහිරු වීරසේකර පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ ණය වාරිකය ලබාගැනීම සඳහා ආණ්ඩුව අධ්‍යාපනය, සෞඛ්‍ය, ඇතුළු අංශ ගණනාවක් පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන බවත්, ඊට විරුද්ධව නැගී සිටින ජනතාව පාලනය කිරීම සඳහා මෙම පනත ගෙන එමින් තිබෙන බවත් ඔහු පවසයි.

මෙම පසුබිම තුළ ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කරගන්නා ලෙස ආණ්ඩුවට බලකරමින් කොළඹ බෝධිය ඉදිරිපිට අද(11) සවස 3ට උද්ඝෝෂණයක්ද පැවැත්වීමට නියමිතව තිබේ.

ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වී ඇති අතර එය අහෝසි කර ත්‍රස්ත විරෝධී පනත, සංවිධානාත්මක අපරාධ වැළක්වීමේ පනත, අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ පනත ලෙස ආණ්ඩුව පනත් තුනක් හඳුන්වා දීමට සූදානම් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *