ආණ්ඩුව සිදුකළ යුතු ජනතා සේවය කරන්නේ විපක්ෂයේ අපයි….! – සජිත්…

September 9, 2021 at 10:38 pm | by emanisa.lk

මේ වන විටත් රට පුරා මගඩි රැසක් ක්‍රියාත්මක වන අතර, එක් පැත්තකින් දත්ත මැකීමේ මගඩිය, තව පැත්තකින් එන්නත් මගඩිය, තවත් පැත්තකින් ඖෂධ ජාවාරම ජයටම සිදුවෙන බවත් මේ සියලු ව්‍යසන මැද ජනතාව අති මහත් පීඩනයකින් දුක් විඳින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අල්ලසට දූෂණයට මගඩියට උපරිම ඉඩ සලසන ආණ්ඩුවක් රටේ ක්‍රියාත්මක වන අතර විපක්ෂය හැටියට සමගි ජන බලවේගය ආණ්ඩුවක් විසින් කළ යුතු ජනතාවාදී කටයුතු සිදුකරමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේ ය.

ජනතාවට සේවය කිරීම ආණ්ඩුවේ වගකීම වුවත් ආණ්ඩුව සේවය කරමින් සිටින්නේ ගජ මිතුරන් වෙනුවෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා, ඔවුන්ට දිය යුතු සියලු පහසුකම් ආණ්ඩුව ලබාදෙන බවද පැවසීය.

විපක්ෂ නායක තුමා මේ බව පැවසුවේ “විපක්ෂයෙන් හුස්මක්”25වන අදියර යටතේ කෑගල්ල ශික්ෂණ රෝහලට රුපියල් තිස්ලක්ෂ අනූදහසක වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක් වෙමිනි. අදාළ පරිත්‍යාගය සිදු කරනු ලැබුවේ අද(09) විපක්ෂ නායක කාර්යාලයේ දී ය .

මේ ව්‍යසනකාරී මොහොතේත් සංවර්ධන කටයුතු අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කරමින් මහජන ධනය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරන අතර සැබැවින්ම ජනතාව කෙරෙහි ආදරයක් ඇත්නම් ආණ්ඩුව කළ යුත්තේ මන්ත්‍රීවරු පෝෂණය කරමින් ඔවුන්ව සංවර්ධනය කිරීම නොව, ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම බව ද පැවසීය.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සියලු වරදාන වරප්‍රසාද ලබා දීමට ආණ්ඩුව කටයුතු කළත් ජනතාව වෙනුවෙන් කිසිවක් ලබා දීමට ආණ්ඩුව සූදානම් නැති බව පැවසූ විපක්ෂ නායකවරයා මේ සියලු දේ සිදුවන්නේ මහ ජනතාවගේ බදු මුදලින් බව ආණ්ඩුව තේරුම් ගත යුතු යැයි ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස