ආණ්ඩුව විල්පත්තුවේ ගම්මාන හදමින් වඩුමඩු තහනම් කිරීම අතිසාරයට අමුඩෙ ගැසීමක්! – විමල්

June 17, 2019 at 8:57 am | by emanisa.lk

විල්පත්තු පරිවාර වනාන්තරවල ‘ව්‍යාජ නිවාස ගම්මාන’ ඉදි කිරීමට රාජ්‍ය අනුග‍්‍රහය ලබා දෙමින් රටේ වනගහනය ආරක්‍ෂා කිරීමට ‘වඩු මඩු’ තහනම් කිරීම ‘අතීසාරයට අමුඩ ගැසීමක්’ වගේ වැඩක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පැවැසීය.

ඊයේ (15) විල්පත්තු ජාතික වනෝද්‍යානයෙහි කල්ලාරු පරිවාර රක්‍ෂිතයේ ඉදිවෙමින් පවතින නිවාස යෝජනා ක්‍රමය නිරීක්‍ෂණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“2015 මුල් භාගයේදී ජනාධිපතිවරයා, උතුරු – නැගෙනහිර වනාන්තර එළිපෙහෙළි කරමින් නිවාස යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කිරීම හෝ වෙනත් කටයුත්තක් කිරීම තහනම් කළාය කීවාට පසුව ආරම්භ කළ නිවාස යෝජනා ක‍්‍රමයක් තමයි මේ අපගේ නිරීක්‍ෂණයට ලක් වන්නේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තමයි මේ විල්පත්තු වනාන්තරයේ පරිවාර වනාන්තරයක් වන කල්ලාරු රක්‍ෂිතයේ ඉදි කෙරෙන මෙම නිවාස යෝජනා ක‍්‍රමය සඳහා පූර්ණ අනුග‍්‍රහය සහ අනුබලය ලබා දෙන්නේ.

ඒ වගේම මෙම නිවාස යෝජනා ක‍්‍රමයෙන් ඉඩම් ලබා දී ඇති පිරිසට තාවකාලික ඉදිකිරිම් සඳහා රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයා රුපියල් 50,000 බැගින් ලබා දී ඇති බව ද දැන ගැනීමට තිබෙනවා. පුත්තලමේ හොඳින් ජීවත් වන, ස්ථිර නිවාස හිමි පුද්ගලයන්ටයි මේ ඊනියා නිවාස ගම්මාන හදන්නේ.

මේවා ඇත්තෙන්ම ව්‍යාජ ගම්මාන ලෙස හැඳින්විය හැකියි. මෙතැනදී සිදු වන්නේ නිවාස අහිමි පිරිසකට නිවාස ලබා දීමක් නොවෙයි. ඒකයි මා මේවා ව්‍යාජ ගම්මාන ලෙස හැඳින්වූයේ. එක පැත්තකින් මෙතැන තිබෙන්නේ අන්තවාදී ආකාරයකින් ජනාවාසකරණය කිරීමක්. අනෙක් පැත්තෙන් මෙතැනදී දේශපාලන බලය යොදා ගනිමින් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට හිමි වනගහනය විනාශ කිරීමක් ද සිදු වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස