ආණ්ඩුව වගකීම අතහැරලා…! ජීවිත රැකගන්න ස්වයං ලොක්ඩවුන් වීමකට යොමුවන්න….! – හකීම්, මනෝ, අමීර් අලී…

August 19, 2021 at 9:48 am | by emanisa.lk

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආණ්ඩුව සිය වගකීම සහ වගවීම පසෙකලා කටයුතු කරන බැවින් ස්වයං ලොක්ඩවුන් වීමකට යොමුවන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය පවසයි.

සමගි ජන බලවේගය සහ ඒ සමග සන්ධානගත වී සිටින පක්ෂ නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය පහතින් දැක්වේ.

********************************

මේ තීරණාත්මක හෝරාවේ ස්වයං ලොක්ඩවුන් වීමකට යොමු වෙන ලෙස සමස්ත ජනතාවට අයාචනා කරමු.

කොවිඩ් වසංගතය පාලනය කල නොහැකි තත්ත්වයකට පත්ව පැතිරෙමින් පවති. මේ මොහොතේ ආණ්ඩුව සිය වගකීම් සහ වගවීම පසෙකලා කටයුතු කිරීම අතිශය ඛේදනීය තත්ත්වයකි.

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ජාත්‍යන්තර සහ ජාතික වෛරස පිළිබඳ වු වෛද්‍යවරුන් පෙන්වා දි ඇත්තේ රට වහාම විද්‍යත්මක ලොක්ඩවුන් තත්ත්වයකට පත් කළ යුතු බවයි. නමුත් රජය මෙම උපදෙස්වලට ඇහුම්කන් දීමක් නොකර අත්තනෝමතිකව ක්‍රියා කරන බව පෙනේ. මේ මොහොතේ නවසීලන්තයේ අගමැතිවරිය එක් ඩෙල්ටා ආසාදිතයකු හමුවූ විට රට වසා දමමින් වහාම පියවර ගැනීම පුර්වාදර්ශයක් නොව පරමාදර්ශයකි. මේ වන විට ශ්‍රී ලංකාවේ ඩෙල්ටා වෛරසයේ විකෘතින් තුනක් හමු වී ඇති බව චන්න ජයසුමන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. කොවිඩ් මර්දන බළකායේ ප්‍රධානී යුද හමුදාපතිවරයා කියා සිටින්නේ අත්‍යවශ්‍ය කරුණකට පමණක් නිවසින් බැහැර වන ලෙසයි.

ආණ්ඩුව එක් පැත්තකින් වෛරසයේ විකෘති ප්‍රභේද ව්‍යප්තිය ගැන කියන අතර ජනතාවට නිවෙස්වලින් බැහැර නොයන ලෙස ඉල්ලා සිටි. එසේම රට ලොක්ඩවුන් නොකරන බව ද කියා සිටි. මෙම හතරබීරි කථාවේ අර්ථය කුමක්ද ?

දිගින් දිගටම කොවිඩ් වසංගතය සිය දේශපාලන න්‍යාය පත්‍රය තුල තීරණ තින්දු ගත් ආණ්ඩුව ජනතාවගේ ජිවිත ඝාතනය කරන තැනට අද පත්ව තිබේ. ආණ්ඩුව මෙම ගැටලුව විසදීමට යොජනා කරනුයේ ජන ජිවිතය දෙවියන්ට භාර කරන බවයි. මෙය කියනුයේ ආණ්ඩුවේ කැබිනට් මංඩලයේ මාධ්‍ය ප්‍රකාශකයි. එබැවින් මෙය සරල ප්‍රකාශනයක් ලෙස බැහැර කල යුත්තක් නොවේ. ආණ්ඩුවේ පෙර ක්‍රියාකාරකම් ද මිත්‍යා මතවාද තුල කොවිඩ් වසංගතයට පිලියම් සෙවූ බව නොරහසකි. මුට්ටි පාකිරීම, කාලි පැණිය, රිටිගල පැණි වැනි ව්‍යපෘති ආණ්ඩුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරලීමට ගත් පියවර එයට නිදසුන් වේ. සාමාන්‍ය ජනතාව දෙවි පිහිට යදිනුයේ වෙනත් කිසිදු විකල්පයක් නැති විටකදීය. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක දෙවියන්ට ජනතාව බාර දීම තුලින් ගම්‍ය වනුයේ ආණ්ඩුවට මෙම වසංගතය පාලනය කිරීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවයි.

රටේ ජනතාවට තමාගේ ආරක්ෂාව සලසා ගත යුතු බව ආණ්ඩුවේ මතය වී තිබේ. රටේ ආර්ථිකය බිද වැටීම නිසාත් ජාත්‍යන්තරය තුළ බිදගත් විශ්වාසය නිසාත් ආණ්ඩුවට රට ලොක්ඩවුන් තත්ත්වයකට පත්කොට ජනතාවට සහාය වීමට නොහැකි වීම සගවා තැබීමේ බොළඳ උත්සාහයක ආණ්ඩුව නිරත වෙමින් සිටී. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා රට ලොක්ඩවුන් කළහොත් ජනතාවට සහන සැලසීමට ආණ්ඩුවට ආර්ථික ශක්තියක් නොමැති බවට පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය තුළ එය තහවුරු වේ.

ආණ්ඩුව දැන් සිදු කරන්නේ කුමක්ද? රාජ්‍ය සේවකයින් වැඩට කැඳවීම අතාර්කික සංචරණ සිමා සහ මාධ්‍ය නිවේදන, ගැසට් නිවේදන ආදි විහිලු සහගත ක්‍රියා තුල රටේ ජනතාවගේ ජීවිතය අනතුරේ හෙලිමයි. දෛනික ආසාදිතයින් හමුවීම ඉලක්කම් හතරේ අගයට පත්වෙද්දී දෛනික මරණ සංඛ්‍යාව ඉලක්කම් තුනේ අගය තුල වැඩි වෙද්දී රට වසා නොදමන්නේ ජන ඝාතනයක නියලෙමින් කොවිඩ් වසංගතය පාලනය කිරිමට ද යන්න අප ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමු. උද්දච්කම, බලය තුල සත්‍ය වටහා නොගැනීම මෙන්ම නොහැකියාව අද ආණ්ඩුවේ තුන්සරණය බවට පත්ව තිබේ. මේ මොහොතේ අහිමි වන සෑම ජිවිතයකටම ආණ්ඩුව වගකිව යුතුය.

මේ තීරණාත්මක හෝරාවේ සමගි ජන බලවේගයේ සියලු දේශපාලන පක්ෂ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ වෛද්‍ය උපදෙස් සහ මග පෙන්වීම් මත ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට පත් වන ලෙසයි. අවම වශයෙන් තීරණාත්මක ඉදිරි දින දහය තුල එය ක්‍රියාත්මක කරලීමට දායක වන ලෙසයි. මන්ද ආණ්ඩුවට මෙහිදී ජනතාවගේ ජීවිත සුරකීමට කිසිදු වැඩපිළිවෙළක් හෝ අවශ්‍යතාවක් නොමැති බව පැහැදිලිවම දක්නට ලැබෙන නිසාය.

රවුෆ් හකීම්
මනෝ ගනේෂන්
අමීර් අලී
සමගි ජන බලවේගය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස