ආණ්ඩුව රජයේ පාසල් දියුණු කර අවසන්! පෞද්ගලික පාසල් 400ක ගුරු පඩි ගෙවන්නත් මිලියන 160ක් වෙන් කරන්න සූදානම්!

February 2, 2019 at 2:32 am | by admin

රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා එක් මව් පාසලකට උපරිමය ශාඛා පාසල් 05ක් ආරම්භ කිරීමටත්, රජයේ අනුමැතිය ලත් එහෙත් ආධාර නොලබන පෞද්ගලික පාසල් 13ක් රජයේ ආධාර ලබන පාසල් බවට පත්කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී ඇති බව දැනගන්නට ඇත.

එසේම දැනට රජයේ ආධාර නොලබන රජයේ අනුමත පෞද්ගලික පාසල් 13 සඳහා රජය විසින් ආධාර ලබාදීමේදී ගුරු වැටුප් ආධාර ගෙවීම සඳහා රජය වාර්ෂිකව දැරීමට සිදුවන මුදල දළ වශයෙන් රුපියල් මිලියන 160න් (රු. 159,600,000/-) මේ යැයි ගණන් බලා ඇත.
මෙම කැබිනට් පත්‍රිකාවට අනුව රජයේ අනුමත පෞද්ගලික පාසල් 80 සඳහා ශාඛා පාසල් 400න් ආරම්භ කිරීමට හැකියාව ලැබේ.

අංක : 2018/ED/E/la යටතේ 2018 අප්‍රේල් 26 වැනිදා මීට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ අත්සනින් ඉදිරිපත් කර ඇති අතර ඒ හරහා මෙතෙක් මව් පාසල හරහා ගුරු වැටුප් ලබාගත් ශාඛා පාසල් නවයක් සඳහා මේ දක්වා ලබාගෙන ඇති ගුරු වැටුප් ආධාරවලට අනුමැතිය ලබාදීමටත්, ඉදිරියේදී එම ශාඛා පාසල්වලට වෙනම ගුරු වැටුප් ආධාර ලබාදීමටත් කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව මව් පාසල හරහා වැටුප් ලැබූ රජයේ අනුමත පෞද්ගලික පාසල් ශාඛා නවය ලෙස එම අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් කර ඇත්තේ කොළඹ 04, ශාන්ත පීතර විද්‍යාලයේ ගම්පහ සහ මීගමුව ශාඛාව, කොළඹ 10 ශාන්ත ජෝෂප් විද්‍යාලයේ වත්තල සහ මීගමුව ශාඛාව, කළුතර සිරිකුරුස විද්‍යාලයේ කළුතර පයාගල ශාඛාව, පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ වැලිවේරිය ශාඛාව, මීගමුව ලොයිලා විද්‍යාලයේ බෝපිටිය ශාඛාව සහ බොරැල්ල වෙස්ලි විද්‍යාලයේ කටුනායක ශාඛාව යන ශාඛා පාසල්ය.

මේ සම්බන්ධව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ 1967 දරන විශේෂ විධිවිධාන පනත උල්ලංඝනය කරමින් පෞද්ගලික පාසල් ශාඛා නවයක් ආරම්භ කර ඇති මොහොතක ඒවාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ඒවා නීත්‍යනුකූල කිරීමට පියවර ගැනීම කනගාටුවට කරුණක් බවත්, මෙම කැබිනට් පත්‍රිකාව නිදහස් අධ්‍යාපනයට එල්ල වූ මරු පහරක් බවත්, ඒ හෙයින් මෙම කැබිනට් පත්‍රිකාව වහාම හකුළාගත යුතු බවත්ය.

එසේම රජය විසින් සිදුකළ යුත්තේ පෞද්ගලික පාසල් ආරම්භ කිරීම සඳහා මුදල් වියදම් කිරීම නොව වැසීමට යන රජයේ පාසල්වල අධ්‍යාපනය නගා සිටුවීමට කටයුතු කිරීම බවත්, රජය විසින් දැනට පෞද්ගලික පාසල් 7කට වැටුප් ගෙවන අතරේම ඒ පාසල්වල ශාඛා පාසල් නවය සඳහා වැටුප් ගෙවීමට ඉදිරිපත් වීම ජාතික අපරාධයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

රසික ගුණවර්ධන
රාවය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *