ආණ්ඩුව දණ ගස්සන්න මහසෝන එක්ක හරි එකතු වෙනවා! චන්ද්‍රිකා මැතිනියගේ ආශීර්වාදයත් මට තියෙනවා! – නව ලංකා නිදහස් පක්ෂයේ නායක වෙල්ගම

March 6, 2020 at 3:54 pm | by emanisa.lk

මේ වන විට විකුණා දමා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙදිනක හෝ ගොඩ ගැනීම සඳහා සියලු දෙනාම එකතු වී ඇතැයි කුමාර වෙල්ගම මහතා පවසයි.

නව ලංකා නිදහස් පක්ෂයේ සමාරම්භක උත්සවය එක්වෙමින් අද (06) එම පක්ෂයේ නායක කුමාර වෙල්ගම මෙම අදහස් පළ කළේය.

පිරිසිදු බණ්ඩාරණායක ප්‍රතිපත්තිය වෙනුවෙන් නව ලංකා නිදහස් පක්ෂ මැයෙන් උත්සවය සංවිධාන කර තිබුණි.

එහිදි නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ලේකම් තිලක් වරාගොඩ විසින් පක්ෂ නායක කුමාර වෙල්ගම වෙත පිළිගන්වනු ලැබීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෙල්ගම පවසා සිටියේ, බණ්ඩාරනායක විසින් නිර්මාණය කළ පක්ෂය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විසින් රැක දුන් බවත්, 2015 තෙක් පක්ෂය සුරැකුණත් අද වන විට එය වෙනස් වී ගොස් ඇති බවයි.

මෛත්‍රීපාල සිරිසේනගෙන් 2015 දී වෙන්ව ගියේ පක්ෂය පවා දුන් නිසා එයට විරෝධය දැක්වීමට යැයි ද පැවසු හෙතෙම චන්ද්‍රිකා මැතිණියගේ ආශිර්වාද මැද අද දිනයේ මෙම නව පක්ෂය පිහිටවනු ලැබු බවත් පැවසීය.

මැතිවරණයේ දී සියලු දෙනාම එකතු විය යුතු බවත් පැවසු වෙල්ගම ඒ තුළින් ආණ්ඩුව හෙල්ලීමට අවස්ථාව හිමිවෙන බවත් ආණ්ඩුව දණගැස්වීමට “මහසෝනා“ සමඟ එකතු විය යුතු බවත් කියා සිටියේය. ආණ්ඩුවට රිදවීමට අවශ්‍ය නම් සියලු දෙනා එක්විය යුතු බවත් වෙල්ගම මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මැතිවරණයේ දී ඉදිරිපත් වුවහොත් ඡන්ද යම් ප්‍රමාණයක් හිමි වෙනු ඇතැයි ද පැවසු වෙල්ගම, ශ්‍රීලනිපයේ බොහෝ දෙනෙක් පොහොට්ටුවට ඡන්දය ලබා නොදෙන බවත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස