දේශප්‍රේමි ආණ්ඩුව චීනෙටයි ඇමරිකාවටයි ඉන්දියාවටයි රට විකුණනවා….! විශාලතම විදුලි බලාගාරයත් ඇමරිකාවට දෙන්න යනවා…! – අනුර…

July 13, 2021 at 4:35 pm | by emanisa.lk

කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයත් නල පද්ධතියත් එයට ගෑස් සැපයුමත් ගබඩා සංකීර්ණයත් මුළුමනින්ම ඇමරිකා එක්සත් ජනපද සමාගමක් වෙත පවරා දීම සඳහා උත්සාහයක් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

අද(13) පැවති මාධ්‍ය හමුවක දී ජවිපෙ නායකයා මේ බව ප්‍රකාශ කළේ ය.

“පසුගිය සඳුදා අපේ රටේ ආරක්ෂාවටත් ආර්ථිකයටත් අතිශය අහිතකර ලෙස බලපානු ලබන කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබෙනවා. එසේ ම එම කැබිනට් පත්‍රිකාවට අනුරූපී වන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහතාත් නිව් ෆෝට්ට්‍රස් ඇමරිකානු සමාගම සමග ගිවිසුමක් අත්සන් කොට තිබෙනවා.

මේ ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය බවට පත් වී තිබෙන්නේ එක් එක් රාජ්‍යයන්ට, විටෙක චීනයට, තවත් අවස්ථාවක ඉන්දියාවට, තවත් විටෙක ඇමරිකාවට රටේ ජාතික සම්පත් අලෙවි කිරීමයි. පසුගියදා පොර්ට්සිටි පනත මගින් විශාල බලයක් චීන සමාගම වෙත පවරා දුන්නා. එසේම දැන් තිරිකුණාමලය තෙල් ටැංකි ඇතුළු වරාය ඉන්දියානු වුවමනාවන් සඳහා පවරා දීම පිළිබඳව සාකච්ඡාවක් සිදුවෙමින් තිබෙනවා.

මේ පැත්තෙන් කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයත් නල පද්ධතියත් එයට ගෑස් සැපයුමත් ගබඩා සංකීර්ණයත් මුළුමනින්ම ඇමරිකානු සමාගමක් වෙත පවරා දීම සඳහා උත්සාහයක් තිබෙනවා. මුදල් අමාත්‍යවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ ඒ අනුවයි. මුදල් අමාත්‍යාංහයේ ලේකම්වරයා, මෙම ෆෝට්ට්‍රස් එනර්ජි නම් ඇමරිකානු සමාගම සමග මේ ගිවිසුම අත්සන් කොට තිබෙන්නේ ඒ අනුවයි. අප වැනි රටක විශාල බලශක්ති වෙළඳපොළක් ඇති බව අපි දන්නවා.

ඒ නිසා අද බලශක්තිය අත්පත් කර ගන්නා තැනැත්තා හෙට අප රට පාලනය කිරීමේ බලය ලබා ගන්නවා. එහි වැදගත් ක්ෂේත්‍රයක් වන්නේ විදුලි බලයයි. කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය මෙගා වොට් 300ක බලාගාරයක්. එය ඉදිකර තිබෙන්නේ ස්වභාවික ගෑස් සඳහා පරිවර්තනය කළ හැකි ආකාරයටයි. එහි අයිතිය තිබෙන්නේ මුළුමනින්ම රාජ්‍ය සමාගම් සතුවයි. 50%කට අධික කොටස් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරය සතු වනවා. තවත් කොටස් ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලටත් තවත් ප්‍රමාණයක් රජය සතු ලෙකෝ සමාගමට තිබෙනවා. තවත් ප්‍රමාණයක් රජය සතු එල්ටීඑල් සමාගම සතුව තිබෙනවා.

භාණ්ඩාගාරය ඇතුළු රාජ්‍ය ආයතන 04කට අයිතිව තිබෙන මෙම යුගදනවි බලාගාරයේ භාණ්ඩාගාරය සතු කොටස්වලින් 40%ක ප්‍රමාණයක් මෙම ඇමරිකානු සමාගමට පැවරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබෙනවා. ඊට අදාළ ගිවිසුම ඇමරිකානු සමාගම සමග අත්සන් කොට තිබෙනවා. එම බලාගාරය ආසන්නයේ එහිම දිගුවක් ලෙස තවත් මෙගා වොට් 300ක එල්එන්ජී බලාගාරයක් ඉදිකෙරෙමින් තිබෙනවා. එයත් යුගදනවි බලාගාරයටම අයත් කොටසක්. ඒ අනුව මුළු ධාරිතාව මෙ.වො. 600ක් වනවා. 2025 වන විට මෙම බලාගාර පද්ධතිය මෙ.වො. 1000 දක්වා වැඩි කිරීමට සැලසුමක් තිබෙනවා.

ඒ අනුව කෙරවලපිටිය යුගදනවි බලාගාරය ලංකාවේ විශාලතම බලාගාරය බවට පත් වීමට නියමිතයි. ඇමරිකානු සමාගමට පවරා දීමට උත්සාහ කරනු ලබන්නේ එම බලාගාරයෙන් 40%ක්. විදුලි බල මණ්ඩලය සමග ඇති ගිවිසුම් අනුව 2035 වර්ෂය වන විට රාජ්‍ය සමාගම්වලට අයිතිව තිබෙන යුගදනවි බලාගාරය මුළුමනින්ම විදුලි බල මණ්ඩලයට අයිති විය යුතුව තිබුණා. මේ දේශප්‍රේමී සළුපිළි පටලවා ගෙන පැමිණ, දේශප්‍රේමී ගොරනාඩුවක් කළ, ඇමරිකානු පුරවැසියන්ගෙන් ගහන මේ ආණ්ඩුව-ඇමරිකානු පුරවැසි මුදල් ඇමතිවරුන් විසින් විශාලතම බලාගාරය ඇමරිකාවට පවරා දීමට කටයුතු කරමින් සිටින්නේ මෙවැනි තත්වයක් තිබියෙදීයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස