කොවිඩ් අරමුදලේ මිලියන 1400න් ඉතිරියි…! වහා ම පවුලකට රු. 20 000 ගාණේ බෙදනු…! – සජිත්…

June 2, 2021 at 7:36 am | by emanisa.lk

කොවිඩ් අරමුදලට රුපියල් මිලියන 1700 කට අධික ආධාර ලැබී ඇතත් ආණ්ඩුව ඉන් වියදම් කොට ඇත්තේ රුපියල් මිලියන 300 ගණනක් බවත් මේ වන විට රට තුළ සෞභාග්‍යයේ දැක්ම වෙනස්වී අභාග්‍යයේ දැක්ම ක‍්‍රියාත්මක වන බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

මේ වන විටත් සමස්ත රටේම අර්බුදය උග‍්‍ර වී සෑම ක්‍ෂෙත‍්‍රයක්ම අගාධයට ගොස් තිබේ. අදූරදර්ශී පාලනය විසින් මුළු මහත් රටට ම උරුම කර ඇත්තේ අන්ධකාර අනාගතයක් පමණි. මේ වන විට කොරෝනා ව්‍යසනය රටම වෙලාගෙන ඇති අතර මෙය මර්දනය කිරීම සඳහා දැනට තිබෙන එකම ක‍්‍රියාදාමය එන්නත්කරණය බව ආණ්ඩුව පිළිගත්තේ ද විවිධාකාර මිථ්‍යා කටයුතු රැසක් සිදුකොට එයින්ම වසංගතය උත්සන්න වූවාට පසුවය. ඒ අතර රටේ සම්පත් සියල්ල විකුණා දැමීමේ කටයුත්ත ආණ්ඩුව ගජරාමෙට සිදුකරමින් සිටියි. අන් කවරදාටත් වඩා ඛේදනීය ලෙස රටේ සම්පත් විකුණන අතර අනෙක් පැත්තෙන් බංගලාදේශයෙන් පවා ණය ලබා ගැනීමේ තැනට රට වැටී ඇත.

සෞභාග්‍යයේ දැක්ම වෙනස් වී අභාග්‍යයේ දැක්ම ලෙස ක‍්‍රියාත්මක වන අතර එහි අවාසනාවන්ත ඉරණම අත්විඳින්නට සිදුවී ඇත්තේ මතු පරම්පරාවටය. වසර දෙකක් පුරා ජනතාව අතිශය කටුක ජීවිත ගතකරන අතර පැලැස්තර විසඳුම් මිස කෙටිකාලීන, මාධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුම් කිසිවක් ආණ්ඩුව සතුව නැත. කොවිඩ් පළමු සහ දෙවන රැල්ල තුළ මතු වූ තත්ත්වය තුළ ආණ්ඩුව කිසිදු පාඩමක් ඉගෙන ගෙන නැත. එහි අඳුරු ප‍්‍රතිඵල රටම භුක්ති විඳිමින් සිටී.

රටේ දරුවන්ගේ අධ්‍යාපනය බිඳවැටී ඇත. රාජ්‍ය සේවකයින්, සංචාරක ක්‍ෂේත‍්‍රයේ නියුක්ත වූවන්, එදිනෙදා කුලී වැඩ කරන ජනතාව, කම්කරුවන්, වතුකම්කරුවන්, ස්වයං රැකියාකරුවන්, කුලී රථ සේවකයින්, පෞද්ගලික අංශ සේවකයින් ගොවීන්, ධීවරයින්, ලොකු කුඩා ව්‍යාපාරිකයින් ඇතුළු සමස්ත පුරවැසියන් මේ මොහොතේ දැඩි ව්‍යාකූලත්වයකට හසුව සිටින අතර ආණ්ඩුවේ ඉතාම සමීපතමයන් කුඩා පිරිසක් මේ ව්‍යසනය සිය වාසියට හරවාගෙන සිටී.

ආණ්ඩුව වහාම කළ යුත්තේ දේශපාලන ප‍්‍රතිවිරෝධතා පසෙකලා රටේ ජනතාව වෙනුවෙන් එක පවුලකට මසකට රුපියල් 20000 (විසිදසක) දීමනාවක් හෝ ලබා දීමය. ඊට අමතරව විශේෂ සහන පැකේජයක් හඳුන්වා දෙමින් ස්වයං රැකියාලාභීන් සහ කුඩා ව්‍යාපාරිකයින් වෙනුවෙන් දිරි දීමද, ලීසිං සහන සහ ජල විදුලි සහන කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමද ආණ්ඩුව කළ යුතු දේය. එහෙත් සිදුවන්නේ ඒ වෙනුවට ජීවිත සමග සෙල්ලම් කිරීමය.

කොවිඩ් මර්දන රාජ්‍ය ඇමැතිනිය දානපතියන්නේ පරිත්‍යාග ඉල්ලූ අවස්ථාවේ ආණ්ඩුවේම අමාත්‍යවරයෙක් කියා සිටියේ ආණ්ඩුවට අවශ්‍ය තරම් මුද්ල ඇති බවය. එසේ නම් ආණ්ඩුව ඒ මුදල් යොදාගෙන කළ යුත්තේ මේ මොහොතේ අසරණව සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීමය.

ලෝකයේ සෑම රටක්ම පාහේ සිය පුරවැසියන් කොරෝනා ව්‍යසනයෙන් මුදා ගන්නට තරගකාරී ලෙස එන්නත් ලබා ගන්නා විට අපේ රටේ සිදුවූයේ තරගකාරී ලෙස මිථ්‍යාවන් කරලියට ගෙන ඒමය. ඉන්දියාවෙන් අපේ රටට එන්නත් 500,000 ක්ද, ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් 265,000 ක්ද චීනයෙන් ලක්‍ෂ 6 කට ආසන්න එන්නත් ප‍්‍රමාණයක් ද රුසියාවෙන් 15,000 ක් පමණද ලැබුණ අතර රටක් ලෙස ආණ්ඩුව සිය පුරවැසියන් වෙනුවෙන් මිලදී ගත්තේ එන්නත් 500,000 ක් පමණි. කොවිඩ් අරමුදලට මිලියන 1700 කට අධික ආධාර ලැබී ඇති අතර එයින් වියදම්කොට ඇත්තේ මිලියන 300 ගණනකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස