ආණ්ඩුවේ බඩගෝස්තරවාදී දේශපාලනය රට ම අරාජික කළා…! ජනතාවට කන්න අඳින්න නැති බිහිසුණු යුගයක් එනවා…! – හෙක්ටර් අප්පුහාමි…

October 25, 2021 at 8:00 am | by emanisa.lk

විදේශ රටවලට ගෙවීමට ඇති ණය ගෙවාගත නොහැකිව ජනතාවට කන්න අඳින්න නොමැති බිහිසුණු යුගයක් උදා වනු ඇතැයි පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (23) පැවැති මාධ්‍ය හමුවේ දී මන්ත්‍රීවරයා මේ බව පවසා තිබිණි.

“අද වන විට රට ඉතාමත් බියකරු දෙසට ගමන් කරනවා. ඒ දිසාව තුළ කතා කරන්න බොහෝ කරුණු රැසක් තිබෙනවා. විශේෂයෙන්ම රටේ වර්තමානයේ තිබෙන ආර්ථිකයත් එක්ක තැලිච්ච ක‍්‍රියාකාරකම් ගැන කතා කළ යුතුයි.

අද ආර්ථිකයත් එක්ක බැඳිච්ච ක‍්‍රියාකාරකම් අරන් බැලූ‍වම මේ රටට ඩොලර් නැහැ. රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන ඒ සමානව ම විදේශ රටවලට ගෙවන්න තියෙන ණය මුදල් ටික ගෙවා ගන්න බැරි තත්වයට රට පත් වෙලා. හෙට දවසේ මේ රටේ ජනතාවට කන්න ටික ලැබෙයිද අඳින්න ටික ලැබෙයිද?

සෞඛ්‍ය පහසුකම් ලෙඩට බෙහෙත් ටික ගන්න අවස්ථාව ලැබෙයි ද බෙහෙත් ටික ෆාමසියේ තියෙයිද ඒවා ගන්න මුදල් අතේ තියෙයිද ගමන් බිමන් යන්න රටේ තෙල් ටික තියේද නැද්ද ඒ සමානවම ගෙදර නිදහසේ ජීවත් වෙන්න හැකියාව තිබෙනවාද නැද්ද ළමයාගේ අධ්‍යාපනය හරි විදියට පාසල් තුළ ක‍්‍රියාත්මකද නැද්ද විශාල ප‍්‍රශ්න ගොඩකට අවුල් ජාලාවකට රටේ සමස්ත ජනතාව පත්වෙලා.

මේ ආණ්ඩුව ඉතාමත්ම අරාජිත ආණ්ඩුවක්. රටේ සමස්ත ජනතාවම පරාජය කරමින් රටේ සියලු ජනතාවගේ කර උඩ නැගලා තමුන්ගේ බඩ ගෝස්තරවාදී දේශපාලනය කරන කණ්ඩායමක් ඉන්න ආණ්ඩුවක් තමයි අද රටේ තියෙන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *