ආණ්ඩුවේ තුවක්කුවක් ජනතාව වෙත එල්ල නොවුණේ මගේ කාලේ විතරයි! – ජනපති

August 19, 2019 at 12:49 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයින් මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීමටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමටත් ප්‍රතිඥා දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ තුවක්කුවක් රටේ කිසිදු පුරවැසියෙකුට එල්ල නොවූ එකම යුගය තම පාලන කාලය බවයි.

2015 ජනවාරි 08 වනදා මේ රටේ හැට දෙලක්ෂ පනස්දහසක ජනතාවක් පැවති පාලනයට එරෙහිව ඡන්දය භාවිත කළේ එම නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මුළු මහත් සමාජයම විනාශ කරමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම යුගයේ ප්‍රමුඛ අවශ්‍යතාව වී ඇති බවත්, එම ගැටලුවට විසඳුම් සෙවීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

එසේම මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු දේශපාලන අනුග්‍රහයක් හිමි නොවිය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කුමන ආණ්ඩුවක් බලයට පත්වුව ද ජනතාව පීඩාවට පත්වන සියලු කරුණු වෙනස් කිරීමට කැපවීම ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය යුතු බවත් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස