ආණ්ඩුකරු පත්ව මාසයයි… මාසයක් නිවාඩු අරන් රට ගිහින්… මහජන සේවා සියල්ල අඩාළයි…!

December 25, 2024 at 1:20 pm | by emanisa.lk

මධ්‍යම පළාත් ආණ්ඩුකාර හිටපු උප කුලපති ආචාර්ය සරත් අබේකෝන් මහතා මාසයක් පමණ නිවාඩු ලබා රටින් පිටව ගොස් තිබේ.

මේ නිසා මධ්‍යම පළාත් සභාවේ විවිධ රාජ්‍ය ආයතනවලට අදාළ මහ ජනතාවට ඉටුවිය යුතු සේවා ඉටුකර ගැනීමේ ප්‍රමාද වන බවට ජනතාව චෝදනා කරති.

දෙසැම්බර් මස 07 වැනි දින සිට ජනවාරි මස 01 වැනි දින තෙක් ආණ්ඩුකාරවරයා නිවාඩු ලබා ඇති බවත් ඒ වෙනුවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා වැඩ බැලීම සඳහා පත්කර ඇති බවත් ආණ්ඩුකාර කාර්යාල ප්‍රකාශකයෙක් මේ පිළිබඳව කළ විමසීමකදී පැවසීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ පරිපාලන විෂයට පළාත් සභා අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන සහ පළාත් සභාව යටතේ පොදු මහජන සේවා සපයන ආයතන රැසක් පවතියි. මෙම ආයතන හරහා සේවා සැපයීමේ දී සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සිදු කෙරෙන සේවා සම්බන්ධයෙන් වගකීම සහ කාර්යභාරයන් පවතින්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා යටතේය.

මහනුවර, මාතලේ සහ නුවරඑළිය පළාත් සභා සහ පළාත් ආණ්ඩුකාරවරයාගේ පරිපාලන අධීක්ෂණය යටතේ සිදු කෙරෙන මහජන සේවා සම්බන්ධව ඍජු වගකීම සහ මැදිහත්වීම ද සිදුවන්නේ පළාත් ආණ්ඩුකාරවරයා යටතේ බැවින් මාසයක කාලයක් මධ්‍යම පළාතට ආණ්ඩුකාරවරයකු නොමැති වීම නිසා ආණ්ඩුකාර කාර්යාලය වෙත විවිධ කාර්යයන් සඳහා පැමිණෙන මධ්‍යම පළාතේ ජනතාව දැඩි අපහසුතාවකට ද මුහුණ දෙන බව ඔවුහු පවසති.

වැඩ බැලීමට පත් කළ නැගෙන හිර පළාත් ආණ්ඩුකාරවරයා එන්නෙත් ඉඳහිට බව ආණ්ඩුකාර කාර්යාලයට ගිය මහ ජනතාව පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *