අසිරිමත් ඇසළ පුර පසළොස්වක පොහොය අදයි….!

July 23, 2021 at 8:34 am | by emanisa.lk

ඇසළ පුන් පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ. සුද්ධෝදන රජතුමාගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස සිදුහත් කුමරු පිළිසිඳ ගත්තේ ඇසළ පුන් පොහෝ දිනකය.

සිදුහත් කුමරු ගිහිගෙය අතහැර අභිනිශ්ක‍්‍රමණය කිරීම, බුදුන් වහන්සේගේ ප‍්‍රථම ධර්ම දේශනාව, ගණ්ඩම්බ රුක්ඛ මූලයෙහි දී තීර්ථකයන් දමනය සඳහා යමාමහ පෙළහර පෑම, තව්තිසා දෙව්ලොවට වැඩ මාතෘ දිව්‍යරාජයාට විජම් බණ දේශනා කිරීම වැනි බුදු සිරිතේ ඉතා ඓශ්චර්යමත් සිදුවීම් සිදුවූයේ ඇසළ පුර පසළොස්වකදාය.

රාහුල කුමරුන්ගේ උපත සිදුවී ඇත්තේ ද මෙදිනයි. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු මහා කාශ්‍යප මහරහතන්වහන්සේ ප‍්‍රධාන රහතන්වහන්සේලා පන්සියයක් සහභාගීත්වයෙන් අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහනුවර වේහාර පර්වත මූලයෙහි දී ප‍්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේ ද ඇසළ පෝදාකය.

ලංකාවේදී ප‍්‍රථම වස් සමාදානය සිදුවී ඇත්තේ ද මෙවැනි දිනකය. බු: ව: 847 දී කිත්සිරි මෙවන් රජු දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා වහන්සේ පළමු වරට ප‍්‍රදර්ශනය කළේත් ඇසළ පොහෝ දිනකය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු සංඝයා ගෙන්වා ලක්දිව උපසම්පදා ක්‍රමය ඇති කිරීම ද ඇසළ පොහෝදා සිදු වූ විශේෂ සිදුවීමකි. කතරගම, දෙවිනුවර, මහනුවර, රත්නපුර, ඇම්බැක්කේ, අලුත්නුවර, බෙල්ලන්විල පෙරහැර පැවැත්වීම ද ඇසළ පෝය දා සිදුවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *